මහින්දට එරෙහි පෙත්සම විභාගයට


පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන අගෝස්තු 05 වැනිදා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) තීන්දු කළේය.

හිටපු ජනපතිට ලබාදී ඇති ආරක්ෂාව නිසා සෙසු අපේක්ෂකයින්ට අසාධාරණයක් සිදුවන හෙයින් ලබාදී ඇති එම ආරාක්ෂාව අඩු කරන්නැයි ඉල්ලා  සමසමාජ පක්ෂයේ ජාතික ලැයිස්තුවට නම් කර ඇති නීතිඥ සේනක පෙරේරා මහතා විසින් ගොනු කළ මෙම පෙත්සම සම්බන්ධ නොතීසි  වගඋත්තරකරුවන් කිහිප දෙනෙකුට අද (24) උදෑසන ලැබී තිබීම නිසා ඒ පිළිබඳ  නීති උපදෙස් ලබා ගැනීමට  සහ අධ්‍යයනය කිරීමට අවශ්‍ය බැවින් ඒ සඳහා  කල් ලබා දෙන ලෙස කළ ඉල්ලීමකට අනුව මෙම පෙත්සම සළකා බැලීම කල් තබන ලදී.

අගවිනිසුරු කේ. ශ්‍රී පවන්, චන්ද්‍රා ඒකනායක, උපාලි අබේරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල ඉදිරියෙහි  මෙම පෙත්සම කැඳවන ලදී.

මෙම පෙත්සමේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, මැතිවරණ කොමසාරිස්වරයා, මහජන සාමය පිළිබඳ අමාත්‍ය ,ආරක්ෂක ලේකම් සහ පොලිස්පතිවරයා වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

හිටපු ජනාධිපතිවරයාත් මේවන විට මහමැතිවරණයේ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී ඇති බැවින් ඔහුට දී ඇති වරප්‍රසාද නිසා අනෙකුත් අපේක්ෂකයන්ට අවාසියක් වන  බැවින් එම ආරාක්ෂාවට අඩු කිරීම හෝ මැතිවරණයට තරඟ වදින අනෙකුත් අපේක්ෂකයින්ටද මෙවැනිම ආරක්ෂාවක් ලබා දෙන්නැයි පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා සිටී.

හිටපු ජනපතිගේ ආරක්ෂාවට අතිවිශාල පොලිස හා යුද හමුදා නිලධාරීන්  යොදවා තිබෙන බවත්,ට්‍රක් රථ, ඩිෆෙන්ඩර් රථ, ලෑන්ඩ් කෘෂර් රථ, කැබ්, බස් ඇතුළු යුද හමුදා වාහනද එසේම ලංකාවේ දැනට ඇති හොඳම බෙන්ස් රථය ඇතුළු තවත් වාහනද, අධි ආරක්ෂිත බෙන්ස් රථය සඳහා පෙට්‍රල් ලීටරද, ඩීසල් ලීටරද, තිබෙන බව පෙත්සමේ සඳහන් වේ.

පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ ලක්ෂාන් ඩයස් මහතාද නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතාද පෙනී සිටියහ.