මහින්දගේ ප්‍රතිචාරය එන තුරු දුමින්ද බලා සිටියි


(ඩයනා උදයංගනී)            

                                         
සියලූ ප‍්‍රශ්න මැද හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට පක්‍ෂ උපදේශක තනතුරක් ලබාදුන්නේ පක්‍ෂය ඒකරාශී කිරීමේ අරමුණ වෙනුවෙන් බවත්, ඒ පිළිබඳ මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රතිචාය කුමක්ද යන්න බලා සිටින බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නව ජාතික සංවිධායක, හිටපු මහ ලේකම්, අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.

ඒ අනුව පක්‍ෂයේ සියලූ දෙනා ඒකරාශී කරගැනීම සඳහා අවශ්‍ය සියලූ දොරවල් විවෘත කර තිබෙන බව ද දුමින්ද දිසානාරයක මහතා සඳහන් කළේය.

සමහරු බලා සිටියේ නව තනතුරු ලබාදීමත් සමඟ පක්‍ෂය දෙකට තුනට කැඩී සියල්ල විනාශ වේවි යනුවෙන් වුවත් මේ වන විට සියලූ දෙනා පොදු අරමුණක් වෙනුවෙන් ඒකරාශී වෙමින් සිටින බවද දුමින්ද දිසානායක මහතා පැවසීය. 

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා 2020 දී නැවතත් බලයට ගෙන ඒම, ඉදිරි පළාත් පාලන මැතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය ශ්‍රී.ල.නි.පය ජය ගැනීම යන අරමුණු ඇතිව කඩිනමින් පක්‍ෂය ප‍්‍රතිසංවිධානය කරන බව ද නව ජාතික සංවිධායකවරයා සඳහන් කළේය.

ඉදිරි දින 45 තුළ පක්‍ෂය ප‍්‍රතිසංවිධානය වෙනුනේ බ‍්‍රහස්පතින්දා දිනයේදී පක්‍ෂ මධ්‍යම කාරක සභාව මුණ ගැසී සාකච්ඡා කරන බව කී දුමින්ද දිසානායක මහතා පක්‍ෂයක් ශක්තිමත් කරන්න අවශ්‍ය වන්නේ  ඕනෑකම, උනන්දුව, ධෛර්යය හා ශක්තිය මිස තනතුරු නොවන බවද කීවේය.
නව ජාතික සංවිධායකවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (4) සිය ධූරයේ වැඩ භාරගනිමිනි. ජාතික සංවිධායකවරයා මෙන්ම නව මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා ද එකම මොහොතේදී සිය ධූරයන්හි රාජකාරී භාර ගත්හ.

මෙහිදී අදහස් දැක්වූ නව මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා පැවසුවේ පක්‍ෂයේ මතු වී ඇති සියලූ ගැටලූ විසඳා ගනිමින් සියලූ දෙනා ඒකරාශී කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න, අංගජන් රාමනාදන්, බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය, පළාත් අමාත්‍ය රංජිත් සෝමවංශ, මන්ත‍්‍රී හෙක්ටර් බෙත්මගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

 

(ජායාරූප සහ විඩියෝ  -රොමේෂ් ධනුෂ්ක සිල්වා )