පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අද (17) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
හිටපු ජනපතිට ලබාදී ඇති ආරක්ෂාව නිසා සෙසු අපේක්ෂකයින්ට අසාධාරණයක් සිදු වන හෙයින් ලබාදී ඇති එම ආරාක්ෂාව අඩු කරන්නැයි ඉල්ලා සමසමාජ පක්ෂයේ ජාතික ලැයිස්තුවට නම් කර ඇති නීතිඥ සේනක පෙරේරා මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.
මෙම පෙත්සමේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, මැතිවරණ කොමසාරිස්වරයා, මහජන සාමය පිළිබඳ අමාත්‍ය ,ආරක්ෂක ලේකම් සහ පොලිස්පතිවරයා වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.
හිටපු ජනාධිපතිවරයාත් මේවන විට මහමැතිවරණයේ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී ඇති බැවින් ඔහුට දී ඇති වරප්‍රසාද නිසා අනෙකුත් අපේක්ෂකයන්ට අවාසියක් වන බැවින් එම ආරාක්ෂාවට අඩු කිරීම හෝ මැතිවරණයට තරඟ වදින අනෙකුත් අපේක්ෂකයින්ටද මෙවැනිම ආරක්ෂාවක් ලබා දෙන්නැයි පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා සිටී.
හිටපු ජනපතිගේ ආරක්ෂාවට අතිවිශාල පොලිස හා යුද හමුදා නිලධාරීන් යොදවා තිබෙන බවත්ට්‍රක් රථ, ඩිෆෙන්ඩර් රථ, ලෑන්ඩ් කෘෂර් රථ, කැබ්, බස් ඇතුළු යුද හමුදා වාහනද එසේම ලංකාවේ දැනට ඇති හොඳම බෙන්ස් රථය ඇතුළු තවත් වාහනද, අධි ආරක්ෂිත බෙන්ස් රථය සඳහා පෙට්‍රල් ලීටරද, ඩීසල් ලීටරද, ස්මිත් ඩිටෙක්ෂන් එක්ස්රේ යන්ත්‍ර, ඇතුළු තවත් උපකරණ ද ලබා දී ඇතැයිද එම පෙත්සමේ සඳහන් වේ.

