හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිල ෆේස්බුක් පිටුව ඔස්සේ අද මහජන ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළේය.
රාජපක්ෂ මහතාගේ ෆේස්බුක් ප්‍රශ්න හා උත්තර වැඩසටහනට ප්‍රශ්න 3500කටත් වඩා වැඩි ප්‍රමාණයක් යොමුවී තිබුණි. ඒවායින් බොහොමයකට රාජපක්ෂ මහතා විසින්ම පිළිතුරු ලබාදී තිබුණි.
20,000 කට අධික පිරිසක් එම වැඩපිළිවෙළ ගැන කැමැත්ත ප්‍රකාශ කරමින් ෆේස්බුක් ලයික් යොදා තිබූ අතර බොහෝ පිරිසක් මහින්ද රාජපක්ෂ මහතාගෙන් පැරණි වැරදි ගැන ප්‍රශ්න ඇසූහ.
ඒවාට පිළිතුරු දෙමින් තමන් ඇතැම් වැරදි පිළිගන්නා බවත් ඒ සම්බන්ධයෙන් කණගාටුවන බවත් රාජපක්ෂ මහතා පවසා තිබුණි. තමන් එම වැරදි සම්බන්ධයෙන් ස්වයං විවේචනයක් සිදු කර ඇති බවත් වැරදි නිවැරදි කරගැනීමට ඒවා දැනගැනීම ප්‍රයෝජනවත්වූ බවත් වැරදි නිවැරදි කරගැනීමට කටයුතු කරන බවත් හිටපු ජනපතිවරයා පවසා ඇත.
රාජපක්ෂ මහතා නැවත ජනපති වුවහොත් ඔහු වටා සිටින පිරිසගේ දුෂණ වංචා නැවැත්වීමට ක්‍රියා කරන්නේද යන්න ඇසූ පැනයකට පිළිතුරු දෙමින් එවැනි දූෂණ වංචා කිරීමට කිසිදු ඉඩක් නොතබන බවත් විනිවිද භාවයකින් යුතු වැඩපිළිවෙළක් මත ආණ්ඩුව පවත්වාගෙන යන බවත් පිළිතුරු ලෙස සඳහන් කර තිබිණි.
තවත් අයකු යොමු කර තිබූ පැනයක් වූයේ ශ්‍රීලනිපයේ වෙනත් ජ්‍යෙෂ්ඨයකුට අවස්ථාවක් නොදී මහින්ද රාජපක්ෂ යළි අගමැතිවීමට පැමිණීම මත පක්ෂය දෙකට බෙදීමක් සිදුවේද යන්නයි. එයට පිළිතුරු ලෙස මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර තිබුණේ බහුතර පාක්ෂිකයන්ගේ ඉල්ලීම මත එම තීරණයට පැමිණි බවත් කිසිසේත් පක්ෂය දෙකට නොකැඩෙන බවත්ය.


