මහින්දගෙ කට්ටිය කළ වැඩේ එජාපය හෙළා දකී


යටිනුවර සන්ධාන රැලියේදී එහි ඔසවා තිබූ විකෘති කළ ජාතික කොඩි ඡායාරූප ගත කළ ලංකාදීප මාධ්‍යවේදියාට නිදහසේ සිය කටයුතු කරගැනීමට ඉඩ නොදුන් නින්දිත හැසිරීම පිළිකුළින් යුතුව හෙළා දකින බව එක්සත් ජාතික පක්ෂ මහනුවර දිස්ත්‍රික් නායක ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියයි.

දේශපාලනය තුළ වෛරී සහගත බව සැම විටම ප්‍රකට කළ මහින්ද රාජපක්ෂ ඒ සඳහා ඕනෑම ක්‍රියාදාමයක් අනුගමනය කරන බවත් එහි අලුත්ම සිදුවීම යටිනුවර පැවැති සන්ධාන රැලියේ ඔසවා තැබූ සිංහ ධජය තුළින් පිළිබිඹු වන බවත් වැවිලි කර්මාන්ත ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සිය නිවේදනයේ පවසයි.

සිය දේශපාලන අභිමතාර්ථ සඳහා මහින්ද රාජපක්ෂගේ කේවට්ටයින් විකෘති කර ඔසවන්නේ ජාතික සමගියේ සංකේතය බවත් එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘවරයාට කරන බරපතලම අවමානයක් බවත් කිරිඇල්ල මහතාගේ නිවේදනයේ සඳහන්ය.

තමා පාලන බලය මෙහෙයවන අවධියේ කළ ක්‍රියා තවමත් ඔවුන් සිදුකරන බව කඩුගන්නාවේදී කොඩිය ඡායාරූප ගත කළ මාධ්‍යවේදියා රඳවා ගනිමින් කළ තර්ජනය තුළින් මනාව පිළිබිඹුවන බවත් එම නිවේදනයේ දැක්වේ.