මහින්ද නැති හම්බන්තොට


මෙවර මහමැතිවරණයට හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් හිටපු ජනපතිවරුන් දෙදෙනෙකුගේ පුත්තු දෙදෙනෙක් ප්‍රධාන පක්ෂ දෙකෙන් කරට කර සටනට එක්ව සිටිති.

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුත් සජිත් ප්‍රේමදාස, එක්සත් ජාතික පක්ෂයෙන් සහ හිටපු ජනාධිපති පුතු නාමල් රාජපක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙනි.

දෙදෙනාම සිය මැතිවරණ ප්‍රචාරක සඳහා හිටපු ජනාධිපතිවරුන්ගේ රුව හා නම් යොදා ගනිති.

සන්ධාන ලැයිස්තුවේ එකම පවුලේ තිදෙනෙක් ද  සිටිති . ඒ කණ්ඩායම් නායක හිටපු කථානායක චමල් ජයන්ත රාජපක්ෂ, නිරූපමා දීපිකා රාජපක්ෂ, නාමල් රාජපක්ෂ වේ. ලඟම ඥාතී නොවූවද අජිත් නිශාන්ත රාජපක්ෂ ද  සන්ධාන ලැයිස්තුවේ සිටී. හම්බන්තොට නගරාධිපති ව සිටි එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා ද මෙවර හම්බන්තොටින් සන්ධානයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්වී ඇත.

තිස්සමහාරාම ආසනයෙන් වැඩි පිරිසකට එක්සත් ජාතික පක්ෂයෙන් නාම යෝජනා ලබා දී තිබේ. ඒ සජිත් ප්‍රේමදාස, තෙන්නෙකෝන් ගමගේ සෙනාරත්න, ටී. වී ගාමිණී, සමරසිංහ ආරච්චිගේ සුජීවා,සුජිත් මුතුකුමාරණ යන අය වෙති.

ජවිපෙන්  ජානිපේට ගිය පසුව එජාපයට ගිය සූරිය වැව හිටපු ප්‍රාදේශිය සභාපති සුජිත් මුතුකුමාරණ ද මෙවර එ. ජ. පයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්වී සිටී.

මහත් ආන්දෝලනයට ලක් වූ දකුණු පළාත් සභාවේ ඇමති වරයකු වූ ඩී. වී උපුල් මහතාගේ පුත් ඩී. වී චානක දිනුෂා ද  මෙවර සන්ධානයෙන් නාම යෝජනා ලබා දී ඇත. ඒ අතර තිස්ස මහාරාම ප්‍රාදේශීය සභාවේ සභාපති හර්ෂ ජයවීර ට ද සන්ධානයෙන් නාම යෝජනා ලැබී තිබේ.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පසුගිය රජයේ ඇමැතිවරයකු වන මහින්ද අමරවීරට සන්ධාන ලැයිස්තුවේ දෙවැනියාට  නම් කර තිබුණි.

එක්සත් ජාතික පක්ෂය සහ සන්ධානය නම් කර ඇති ප්‍රබල චරිත හමුවේ මෙවර මහ මැතිවරණයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ  දේශපාලන පොර පිටියේ දැඩි උණුසුම්කාරී වතාවරණයක් පක්ෂ තුළ මෙන්ම පක්ෂ අතරත් ඇතිවි හැකි බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.