හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රත්නපුරෙන්, කුරුණෑගලින් හෝ ගම්පහෙන් තරඟ කිරීමට ඉඩ ඇතැයි ද, වැඩි කැමැත්ත කුරුණෑගල යැයි ද දැනගන්නට ඇත.
ඔහු කුරුණෑගලින් තරඟ කරන්නේ නම් ඔහුගේ සොයුරු ගෝඨාභය රාජපක්ෂ ගම්පට එතියි කියති. තමා ඡන්දයට ඉදිරිපත් වන බව ගෝඨාභය මහතා තවම ප්‍රකාශ කර නැත.
හිටපු ඇමැති ටී බී ඒකනායක මහතා පවසා ඇත්තේ හිටපු ජනපති කුරුණෑගලින් ඡන්දයට ඒම ස්ථිර බවයි. එහෙත් රාජපක්ෂ මහතා හෝ සන්ධාන ලේකම් හෝ ඒ බව මෙතෙක් ප්‍රකාශ කර නැත.
මහින්ද රාජපක්ෂ මහතා ගම් ප්‍රදේශය වන සුපුරුදු හම්බන්තොට අතහරිනුයේ කරුණු කිහිපයක් මත බවත්, එකක් නැගී එතියි කියන එක්සත් ජාතික පක්ෂ රැල්ලක් බවත්, අනෙක සිය පුත් නාමල්ට ඉඩ කඩ සලසා දීමට බවත් දේශපාලන ආරංචි කියයි.
පුළුවන්නම් බෙලිඅත්තෙන් තරඟ කර ජය ගන්නැයි ඇමැති රාජිත සේනාරත්නගේ පුත් චතුර සේනාරත්න හිටපු ජනපතිට අභියෝගයක් ද කළේය.
බැසිල් රාජපක්ෂට එල්ල වී ඇති මූල්‍ය අක්‍රමිකතා චෝදනා නිසාත්, ජනපතිවරණ ඡන්ද ප්‍රතිඵලය නිකුත් වීමෙන් පසු රට හැර ගිය නිසාත්, මහින්දගේ පරාජයට ප්‍රධාන හේතුව ඔහු නිසාත් ඔහු ගම්පහට ඉදිරිපත් කිරීමේ අවධානමක් ඇතැයි සන්ධානයේ කිහිප දෙනකු ප්‍රකාශ කර ඇතැයි ද, තවත් ප්‍රශ්නයක් වී ඇත්තේ ඔහු තරඟයට ඉදිරිපත් වී ප්‍රසන්න රණතුංග මහතා වැනි අයකු ඔහුට වඩා ඡන්දය ගතහොත් සන්ධානයේ ප්‍රතිරූපයට හානියක් වන බවට මතයක් ඇති නිසාත් යැයි ද දේශපාලන ආරංචි කියයි.
මෛත්‍රීපාල සිරිසේන ජනපතිය හිතවත් කණ්ඩායම වෙනම මහ ඡන්දයට තරඟ කළහොත් සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්තට සහ ශ්‍රීලනිප මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපාට හිටපු ජනපතිගේ කණ්ඩායමේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකක් දීමේ ගිවිසුමකට එළඹීමේ යෝජනාවක් ද මේ දිනවල ඔවුන්ගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් වී ඇතැයි ද දැනගන්නට තිබේ.

