(මනෝප‍්‍රිය ගුණසේකර)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, හිටපු ආරක්‍ෂ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ සහ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා යන මහත්වරුන් ඝාතනය කිරීම සඳහා කුමන්ත‍්‍රණය කළ බවට චෝදනා ලැබ සිටි කොටි සාමාජිකයින් දෙදෙනෙකු කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකොන් මහතා විසින් අදාළ චෝදනා වලින් ඊයේ (27) නිදොස් කොට නිදහස් කරන ලදී.
විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නැතැයි තීරණය කළ විනිසුරුවරයා සියළුම චෝදනා වලින් විත්තිකරුවන් දෙදෙනාම නිදොස් කොට නිදහස් කළේය.
චෝදනා ඔප්පු කොට නැතැයි තීරණය කරමින් මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලද්දේ කනගරත්නම් ආදිත්‍යන් හෙවත් ගිරිදරන් හෙවත් ගිරි හෙවත් කන්නන් හෙවත් දාස් හෙවත් අන්නා සහ කන්දවනම් ගෝගුල්නාත් හෙවත් ඉම්බන් හෙවත් තම්බි හෙවත් ගෝපාල් රත්නන් හෙවත් දයාබරන් නමැති කොටි සාමාජිකයින් දෙදෙනාය.
2009 ජනවාරී මස පළමුවැනිදාත් නොවැම්බර් මස 11 වැනිදාත් අතර කාලය තුළ කොළඹදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, හිටපු ආරක්‍ෂ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ සහ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා යන මහත්වරුන් ඝාතනය කිරීම සඳහා කුමන්ත‍්‍රණය කළ බවට විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී පළමු විත්තිකාර කනගරත්නම් ආදිත්‍යන් නමැත්තා විසින් ත‍්‍රස්ත‍්‍රවාදී විමර්ශන කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරීවරයා හමුවේ කරන ලද පාපොච්චාරණය, එම පාපොච්චාරණය ලබාගත් ත‍්‍රස්ත‍්‍රවාදී විමර්ශන කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරීවරයා සහ එම පාපොච්චාරණය සිංහල භාෂාවට පරිවර්ථනය කළ අධිකරණ භාෂා පරිවර්ථකවරයා ලෙස කටයුතු කළ මොහොමඞ් අන්වර් මහතා ඇතුළු පිරිසක් සාක්කි දුන්හ.
ඉදිරිපත්වු සාක්කි සළකා බැලූ විනිසුරුවරයා විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නැතැයි තීරණය කරමින් සියළුම චෝදනා වලින් ඔවුන් දෙදෙනා නිදහස් කරන ලදී.