මහැදුරු සුනිල් - ආචාර්ය රෝහණ ඔස්කා අධක්ෂ මණ්ඩලයෙන් ඉවත් වෙති


ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයෙහි නියුතු වූවන් නියෝජනය කරන ඔස්කා සංවිධානයේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත් වීමට ප්‍රවීණ ගීත රචක මහාචාර්ය සුනිල් ආරියරත්න සහ ප්‍රවීණ සංගීතඥ ආචාර්ය රෝහණ වීරසිංහ යන මහත්වරුන් තීරණය කර තිබේ.

සුනිල් ආරියරත්න මහතා විසින් රචනා කරන ලදුව, රෝහණ වීරසිංහ මහතා විසින් සංගීතය නිර්මාණය කරන ලද ‘ඇඩ්‍රස් නෑ‘ නම්  ගීතය, නව පරපුරේ ගායන ශිල්පීන් දෙදෙනෙකු විසින් අනවසරයෙන් වාණිජ කටයුත්තක් සඳහා භාවිතා කිරීම මීට හේතුව වී ඇත.

සංගීත ක්ෂේත්‍රයේ දහස් ගණනක් ශිල්ප ශිල්පීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඔස්කා සංවිධානය සෘජුව පෙනී සිටින්නේ නම්, එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨයින් දෙදෙනෙකුගේ අයිතීන් එම අධ්‍යක්ෂ මණ්ඩලයේ ම සිටින කණිෂ්ඨයෙකු අතින් පැහැර හැරීමේදී මීට වඩා කටයුතු කළ යුතු බවත්, සංවිධානය කටයුතු කළ ආකාරය ගැන සෑහීමකට පත් නොවන බවත්, එබැවින් මින් ඉදිරියට එම ආයතනයෙහි අධ්‍යක්ෂ ධූරවලින් ඉල්ලා අස්වන බවත් එම ලිපියෙහි සඳහන් වේ. 

මෙම ගැටලුවේදී භාතිය-සන්තුෂ් මහත්වරුන් දෙදෙනා රුපියල් මිලියනයක වන්දියක් ලබාදීමට එකඟ වී ඇත. නමුත් මේ දක්වා එම මුදල ලබා දී නොමැති බව පවසමින්, ඔස්කා සංවිධානයේ අධ්‍යක්ෂක මණ්ඩලයක තවදුරටත් කටයුතු කළ නොහැකි බව පවසමින් සුනිල් ආරියරත්න මහතා සහ රෝහණ වීරසිංහ මහතා ඔස්කා සංවිධානයේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා වෙත  ලිපියක් යොමු කර තිබේ.