තරිදු ජයවර්ධන
පාසලේදී සිදුවූ අපයෝජනයක් ගැන මාධ්‍යයට ප්‍රකාශයක් කළේයැයි අධ්‍යාපන අමාත්‍යංශයෙන් විනය පරීක්ෂණයක් පවත්වා වැරදිකාරිය කළ කොළඹ මහානාම විද්‍යාලයයේ සංගීත ගුරුවරියගේ විනය නියෝග වහාම අහෝසි කරන ලෙස පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරිය නියෝග කළේය.
අපයෝජන සිද්ධිය සම්බන්ධයෙන් විද්‍යුත් නාලිකාවකට ප්‍රකාශයක් කළැයි අධ්‍යාපන අමාත්‍යංශය මුලින්ම ඇගේ වැඩ තහනම් කළ අතර ඉන් පසු විනය පරීක්ෂණයක් පවත්වා ඇය වැරදිකාරිය කර තිබිණි. ගුරුවරියගේ වැටුප් වර්ධකයක් අත්හිටුවීම, මසකට රුපියල් 1250 බැගින් රුපියල් තිස් දහසක මුදලක් වැටුපෙන් අය කර ගැනීම සහ වෙනත් පාසලකට ස්ථාන මාරු කිරීම යන විනය නියෝග අමාත්‍යංශය ලබා දුන් අතර එයින් පළමු විනය නියෝග දෙක පමණක් අමාත්‍යංශය ක්‍රියාත්මක කළේය.
ඇය වැඩ තහනම් කිරීම සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනු කර තිබුණු අතර ඇගේ වැඩ තහනම නීති විරෝධී බව මීට වසරකට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.
කෙසේ වෙතත් ගුරුවරියට එරෙහි විනය නියෝග අධ්‍යාපන අමාත්‍යංශයෙන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ගුරුවරිය රාජ්‍ය සේවා කොමිෂන් සභාවට අභියාචනාවක් කළ ද එම අභියාචනාව රාජ්‍ය සේවා කොමිසමෙන් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඇය පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරයට අභියාචනයක් කළාය.
එම අභියාචනය විභාග කළ පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරය ඇයට එරෙහි විනය නියෝග ඉවත් කරන ලෙසත්, අත්හිටවූ වැටුප් වර්ධකය ලබා දෙන ලෙසත්, වැටුපෙන් කපා ගත් මුදල් ආපසු ගෙවන ලෙසත් නියෝග කළේය.

