මහා පරිමාණ ව්‍යාපෘති රැසක් අවසන් කිරීමට උපදෙස්


(නිමල කොඩිතුවක්කු)

මහා මාර්ග, අධිවේගී මාර්ග ඉදිකිරීම ඇතුළු මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති රැසක් කඩිනමින් අවසන් කරන ලෙසට අදාළ ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරන ආයතන වලට රජය උපදෙස් ලබාදුන් බව ජාතික ප‍්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.

සංවර්ධන ව්‍යාපෘති වල වත්මන් තත්වය පිළිබඳව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟ පැවති සාකච්ඡාවකින්  අනතුරුව මාධ්‍ය හමුවේ  අදහස් දක්වමින් ඔහු මේ බව කීවේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ප‍්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා මෙසේද පැවසීය.

         ‘‘මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන් වන අදියර පොතුහැර සිට ගලගෙදර දක්වා ඉදි කිරීමට ජපානයෙන් යෙන් බිලියන 100ක මුල්‍ය   පහසුකම් ලබා ගැනීමටත්, ආසියානු සංවර්ධන බැංකුව සමඟ  ඒකාබද්ධව සිදු කරන ආයෝජන මගින්  උතුරේ මහා මාර්ග අලූතින් ඉදි කිරීමටත් රජය පියවර ගෙන තිබෙනවා. 

මෙයට  අමතරව කොළඹ සිට  නව කැළණි පාලම දක්වා කුළුණු මත ඉදිවන  මාර්ගයේ ඉදිකිරීම් කටයුතු වේගවත් කිරීමට මෙන්ම දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා වන කොටසේ වැඩ අවසන් කිරීමටත්ද උපදෙස් ලබා දී තිබෙනවා.

එසේම හැටන් - නුවරඑළිය මාර්ගය  ප‍්‍රතිසංස්කරණ කිරීම, පානදුර මුහුදු බඩ මාර්ගය දීර්ඝ කිරීමේ  කටයුතු මෙන්ම දිවයින පුරා ග‍්‍රාමීය ප‍්‍රදේශ ආශ‍්‍රිත  මාර්ග වල නව  පාලම් 46ක්  ඉදිකිරීමටත්, සෙසු ග‍්‍රමීය මාර්ග කඩිනමින් නවීකරණය කිරීම යන සංවර්ධන කටයුතු වේගවත් කිරීමට කටයුතු යොදා තිබෙනවා. අදාළ අමාත්‍යාංශ සම්බන්ධීකරණය කරමින් ඊට අවශ්‍ය සංවර්ධන වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කිරිමට මේ වනවිට පියවර ගෙන තිබෙනවා.

කාර්මික සංවර්ධන ගම්මාන සහ  කුඩා කාර්මික ගම්මාන වැඩි  දියුණු කිරීමටත්, ව්‍යවසාය ගම්මාන ශක්තිමත් කිරීමටත්, ඇගලූම් පදනම් කරගනිමින් කුඩා කර්මාන්ත හරහා කාන්තාවන් ආර්ථික වශයෙන්  ශක්තිමත් කිරීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. දිස්ත‍්‍රික්  සහ ප‍්‍රදේශීය සම්බන්ධිකරණ කමිටු මඟින් සිදු කරන ව්‍යාපෘති කඩිනමින්  අවසන් කිරීමටත් අවශ්‍ය  පියවර ගැනිමට රජය උපදෙස් ලබා දි තිබෙනවා.

මෙයට අමතරව පොලොන්නරුව, මොරටුව, දෙනියාය, බේරුවල, මාතර, මහරගම ඇතුළු ප‍්‍රදේශ රැසක රෝහල්  පහසුකම් ශක්තිමත් කිරීමට කටයුතු කරමින් සිටිනවා.  අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ  උපදෙස් මත මෙම ව්‍යාපෘති වලින් වැඩි ප‍්‍රමාණයක් ලබන වසර තුල ජනතා අයිතියට පත් කිරීමට නියමිත බවද රාජ්‍ය  අමාතය නිරෝෂන් පෙරේරා මහතා වැඩි දුරටත් පැවසිය