මහවැලි අධිකාරයේ හිටපුු අධ්‍යක්ෂ අපේක්ෂිත ඇපයක් ඉල්ලයි


(රෝෂන් තුෂාර)

රාජ්‍ය දේපළ  සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ සැකකරුගේ විමර්ශනයන්ට අදාළව තමන් අත්අඩංගුවට පත්වුවහොත් ඇප ලබා ගත හැකි වන පරිදි පූර්ව ඇපයක් නියම කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා මහවැලි අධිකාරයේ හිටපුු අධ්‍යක්ෂ ජනරාල් කීර්ති බී කොටගම මහතා විසින් අපේක්ෂිත ඇප අයදුමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට  (10)ඉදිරිපත් කළේය.

නීතිඥ හංසි අතුකෝරල මහත්මිය මගින් මෙම ඇප පෙත්සම  ඉදිරිපත් කළ අතර පෙත්සමේ වග උත්තරකරුවන් ලෙසට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා හා විශේෂ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා නම් කර තිබිණි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  අසංග ඒස් බෝධරගම මහතා හමුවේ පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතීඥ හංසි අතුකෝරළ මහත්මිය කරුණු දක්වමින් කියා සිටියේ  සිය සේවාදායකයා අල්ලස් කොමිසමේ අත්අඩංගුවට පත්වීම සම්බන්ධයෙන් සාධාරණ සැකයක් ඉස්මතුව ඇති බවය.

ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයන්ට අදාළව පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙසට සිය සේවා දායකයාට අල්ලස් කොමිෂම මගින් දන්වා ඇති බවත්,එසේ ගිය අවස්ථාවකදී අත්අඩංගුවට පත් වුවහොත් ඇප ලබාගත හැකි වන පරිදි පූර්ව ඇපයක් නියම කරන ලෙසත් ඉල්ලා සිටියේය.

පෙත්සම්කරු ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ අයෙක් බවත් ඔහු ෂශින්ද්‍ර රාජපක්ෂ මහතාට  වන්දි මුදල් ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් කිසිදු බලපෑමක් සිදු කර නොමැති බවත් ,සිදුකොට ඇත්තේ සිය රාජකාරිය ඉටු කිරීම පමණක් බවත් පැවසීය.ඔහු දැනට ප්‍රසිද්ධ පුද්ගලිකා ආයතනයක අධ්‍යක්ෂ ජනතාව ධුරයක් හොබවන බවත් පැවසීය.

කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වග උත්තරකාර අල්ලස් කොමිසමට ලබන 18 දින අධිකරණය පෙනී  සිට කරුණු දක්වන ලෙසට නියෝග කරමින් නොතීසි නිකුත් කළ අතර පෙත්සම සම්බන්ධයෙන් විමර්ශන විභාගය එතෙක් කල් තැබීය.