මහරගමදී සැරයන් ඇන ගනී


රාජකාරි කටයුත්තකට ආරක්ෂක පොලිස් නිලධාරියා ද සමග පමුණුවට යමින් සිටින අතර තම වාහනය නවත්වා අපහාසාත්මකව බැන වැදී සැරයන් වරයකු අයුතු අවහිරයක් කළැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා පොලිස්පතිට, ශ්‍රී ලංකා නීතීඥ සංගමයට සහ විනිසුරුවරුන්ගේ සංගමයට පැමිණිලි කළේය.

බදාදා (2) සවස 6ට පමණ මහේස්ත්‍රාත්ගේ වාහනය මහරගමින් පමුණුව දෙසට හරවද්දී රථවාහන සැරයන්වරයකු වාහනය නවත්වා ඇත.

මහේස්ත්‍රාත් වීදුරුව පහත් කර ‘මම මහේස්ත්‍රාත්වරයෙක්‘ යැයි කියද්දී ‘මොකා වුණාත් කමක් නෑ බැහැලා එනවා‘ යැයි කියා ඇති බවත්, පසුව පමුණුවට වාහනය හැරවීමට නොදී වෙනත් පැත්තකට ගමන් කරන ලෙස කී බවත් මහේස්ත්‍රාත් පැමිණිලි කර තිබේ.

මහරගම සහකාර පොලිස් අධිකාරීවරයෙක්   සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ඇරැඹීය.

මේ සිද්ධිය වාර්තා වූ බවත්, ඒ ගැන විමර්ශනයක් කරගෙන යන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසීය.