මහරගම අවට ජල සැපයුම නොදන්වාම අත්හිටුවලා


( ජයමාල් චන්ද්‍රසිරි) 
පන්නිපිටිය  ඇතුළු ප්‍රදේශ කිහිපයකට කිසිදු දැනුම් දීමකින් තොරව ජලය කපා හැරීමෙන්  මහජනයා පීඩාවට පත්ව ඇතැයි කියති.

 ඊයේ රාත්‍රියේ සිට   මේ වන තෙක් තවමත් ජල සැපයුම් කටයුතු සිදු නොවන බැවින්  දෛනික රාජකාරී සිදු  කිරීමේදී  ප්‍රදේශවාසීන් ,පෞද්ගලික මෙන්ම රාජ්‍ය ආයතනයන්හිද පිරිස් අපහසුතාවට පත්ව ඇතැයි කියති.

මහරගම, පන්නිපිටිය, අරලිය උයන,දෙපානම,කොට්ටාව , කලල්ගොඩ  ආදී ප්‍රදේශ රැසක ජනතාව මෙම ගැටලුවට මුහුණ පා සිටිති.

 දින කිහිපයක් තිස්සේ මේ අයුරින්  විටින් විට ජලය කපා හැරීමෙන්  ඔවුහු දැඩි ලෙස අපහසුතාවට පත්ව ඇතැයි කියති.

ජලසම්පාදන මණ්ඩලයේ හදිසි ඇමැතුම් ඒකකය (1939 ) අමතා මේ පිළිබඳව විමසීමේදී  මහරගම ප්‍රාදේශිය ජල සැපයුම් අංශයේ ඉංජිනේරුවරිය සම්බන්ධ කර දුන් අතර ඇය සඳහන් කළේ  නල කිහිපයක අලුත් වැඩියා කටයුතු කිහිපයක් හේතුවෙන් මෙලෙස ජල කප්පාදුව කර ඇති බවයි.

ඇතිව ඇති තත්ත්වය  හැකි ඉක්මනින් එය යථා තත්ත්වයට පත් කරන බව පැවසු ඇය මහරගම පමණක් නොව හදිසියේ ප්‍රදේශ කිපහිපයකම ජලය කප්පාදු කර ඇති බවත්, සවස් වන විට කෙසේ හෝ ජලය ලබා දීමට කටයුතු කරන බවත්  සඳහන් කළාය.

එමෙන්ම  මේ වන විට ඇති විදුලි කප්පාදුව හේතුවෙන්  කිසිවක් නිසි අයුරින් සිදු කරගත නොහැකි වි ඇති බවද සඳහන් කළේය.