(මනෝප‍්‍රිය ගුණසේකර සහ මහර ගනිදු රෝචන සමරතුංග)
බන්ධනාගාර ගතවුවන් පුනරුත්ථාපනය කිරීමට කායවර්ධන පුහුණුව සහ ක‍්‍රීඩාව යොදාගැනීමට තමන් අපේක්‍ෂා කරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා පැවසීය.
ලංකාව පුරා ඇති බන්ධනාගාර වල කායවර්ධන පුහුණු මධ්‍යස්ථාන විවෘත කිරීම ආරම්භ කරමින් මුල්ම කායවර්ධන පුහුණු මධ්‍යස්ථානය ‘පවර් ෂෙල්’ නමින් මහර බන්ධනාගාරයේ විවෘත කරමින් නිශාන් ධනසිංහ මහතා එසේ පැවසීය.
මහර බන්ධනාගාර අධිකාරී අයි. ටී. උඩුවර සහ එහි සහකාර බන්ධනාගාර අධිකාරී ඉන්දික මහත්වරුන්ගේ අධීක්‍ෂණය මත ‘පවර් වර්ල්ඞ්’ කායික යෝග්‍යතා ආයතනයේ හිමිකරු වන ටල්වොට් අලයිලීමා මහතා විසින් මහර බන්ධනාගාරයේ ‘පවර් ෂෙල්’ කායවර්ධන පුහුණු මධ්‍යස්ථානය ස්ථාපනය කොට ඇත.
‘පවර් ෂෙල්’ කායවර්ධන පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට බන්ධනාගාර කොමසාරිස්වරුන් වන ගාමිණි ජයසිංහ සහ තිස්ස ජයසිංහ යන මහත්වරුද සහභාගි වුහ.
විවිධ වැරදි සම්බන්ධයෙන් මේ වන විට බන්ධනාගාර ගතවී සිටින කායවර්ධන පුහුණුවට කැමැති රැඳවියන් පිරිසක් ‘පවර් වර්ල්ඞ්’ කායික යෝග්‍යතා ආයතනයේ කායවර්ධන පුහුණු නිලධාරීයෙකුගේ අධීක්‍ෂණය යටතේ සිය පුහුණුවීම් ආරම්භ කරන ලදී.
‘‘ඇත්තෙන්ම බන්ධනාගාර කියන්නේ වැරදි වැඩ වලට යොමු වු අපේම මිනිසුන් පුනරුත්ථාපනය කරන ස්ථාන මිස දඬුවම් දෙන ස්ථාන නොවේ. බන්ධනාගාරගත වුවන් බන්ධනාගාර තුළදී විවිධ වැරදි සඳහා පෙළඹෙන්නේ එහිදී ඔවුන්ට කිරීමට කිසිම කාර්යයක් නොමැති වු විටදීයි. මේ තත්වය වහාම වෙනස් කිරීමට කාලය පැමිණි තියෙනවා. ඒ අනුව තමයි කායවර්ධන පුහුණු මධ්‍යස්ථානයක් විවෘත කිරීමට අවශ්‍ය වුණේ‘‘ යැයි එම උත්සව සභාව ඇමතූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා පැවසීය.







