(නිමල කොඩිතුවක්කු)
කොරෝනා වයිරසයෙන් රට පත්ව ඇති ව්‍යසනකාරී තත්ත්වය ජාතික ආරක්ෂාව ආදී සියලු කරුණු තේරුම්ගෙන මහමැතිවරණය කල් දමන්නැයි රජයෙන් ඉල්ලිමක් කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුනි සොයිසා මහතා පැවැසීය.
සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් තිබීමට ඇති වාතාවරණය සැලසීම රජයේත් මැතිවරණ කොමිසමේත් වගකිමක් වුවත් එම වගකිම හරියට ඉටුකිරීමට රජය අපොහොසත් වී ඇතැයිද ඔහු සඳහන් කළේය.
ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජනබලවේගයේ පක්ෂ කාර්යාලයේ අද (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුනි සොයිසා මහතා මෙසේද කීය.
“කොරෝනා වයිරසය ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ව්‍යසනයක් බවට පත්වෙලා තියෙනවා. මේ වගේ ව්‍යසන දිගටම ලෝක ඉතිහාසයේ සිදුවුණා. ආරක්ෂිත පියවර අනුගමනය කරමින් අපිට මේ තත්වය වළක්වා ගන්න පුලුවන්කම තිබෙනවා.
මේ කොරෝනා වයිරසය දේශපාලනීකරණය කිරීමට කිසිසේත්ම අපේ බලාපොරොත්තුවක් නැහැ. කොරෝනා වයිරසය දේශපාලනීකරණය කිරීමට උත්සාහ කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට චෝදනා කර තියෙනවා. අපි ඒ චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරනවා.
මේ කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ගතයුතු ආරක්ෂිත වැඩපිළිවල සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ විපක්ෂය පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතත් විශාල හඬක් නැගුවා. නමුත් මේ තත්වය ඔඩුදුවනකම් මේ රජය විධිමත් ආරක්ෂිත වැඩපිලිවලක් ක්‍රියාත්මක කළේ නැහැ.
මේ ප්‍රශ්නයේදී ජනාධිපතිතුමන්ගේ හෝ අගමැතිතුමන්ගේ ගිණුමට බැරකරලා අත සෝදගන්න වගකිවයුතු විපක්ෂයක් විදියට අපි සූදානම් නැහැ. මේ ව්‍යසනය පාලනය කරගැනීමට අපිට දියහැකි උපරීම සහාය අපි රජයට ලබාදෙනවා.
මේ කොරෝනා වයිරසයෙන් එක පැත්තකින් අපේ රට අනාරක්ෂිත වෙනවා. අනිත් පැත්තෙන් සමස්ත අපනයන ආර්ථිකයම කඩා වැටීමේ අවධානමක් තියෙනවා. මේ තත්වයන් හඳුනාගෙන රජය ජනතාව වෙනුවෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි.
ආහාර හිඟයක් ඇති නොවීමට කටයුතු කිරීම රජයේ වගකීමක්. සල්ලි තියෙන අය ගිහින් සුපර්මාකට් එකේ තියෙන බඩුටික ඔක්කොම බදාගත්තා. අද වෙළඳපොලේ බඩු නැහැ. මුඛ ආවර්ණ නැහැ. විෂබීජ නාහක නැහැ. කොත්තමල්ලි, වෙනිවැල්ගැට, අත්‍යවශ්‍ය ඖෂධ නැහැ.
දුප්පත් මිනිස්සුන්ට කන්නනැති වුනොත් ඒ මිනිස්සු පාරට බැහැලා පාලනය අතට ගන්නවා. අපි දැක්කා සුනාමි අවස්ථාවේදී මේ වගේ දේවල් වෙනවා.
සෞඛ්‍ය ඇමැතිතුමිය චීන කතට උම්මා දෙනවා අපි දැක්කා. අනිත් අයටත් ඒ වගේ උම්මා දෙනවානම් ගොඩක් හොදයි. රජය සංදර්ශන පවත්වන්නේ නැතුව රටත් ජනතාවත් ආරක්ෂා කිරීමේ වැඩපිලිවලක් සකස් කළ යුතුයි.
කොරෝනා වයිරසය නොතිබුණත් මේක අපේ ප්‍රධානතම උත්සවයයි. හැම කෙනෙක්ම සිංහල අලුත් අවුරුද්දට අවධානය යොමු කරන කාලයක්. මේ මැතිවරණය තිබ්බ වකවානුව ඉතාම වැරදි වකවානුවක් කියලා අපි කියනවා.
මැතිැවරණ කාලය වනවිට මුද්‍රිත මාධ්‍ය, විද්්‍යුත් මාධයවල දැන්වීම් මිල අහස උසට නගිනවා. රජය මේ ගැනත් අවදානය යොමු කළ යුතුයි. මේ මැතිවරණය නැවැතත් ධනපතියන්ට ඇති හැකි අයට, සල්ලි කාරයන්ට පමනක් කරන්න පුලුවන් මැතිවරණයක් බවට පත්වෙලා තියෙනවා.

