මහපොළ ශිෂ්‍යාධාර ගෙවීම සඳහා ණය මුදලක් ගැනීමට යයි


(ඩයනා උදයංගනී)

විශ්ව විද්‍යාල සිසුන්ට මහපොළ ශිෂ්‍යාධාරය ලබාදීම සඳහා අවශ්‍ය අරමුදල් සපයාගැනීම වෙනුවෙන් ණය මුදලක් ලබාගැනීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මහපොළ ශිෂ්‍යාධාර ගෙවීමට අවශ්‍ය මුදලින් සියයට 51ක් ලැබෙන්නේ මහපොළ ශිෂ්‍යත්ව අරමුදලින් වන අතර ඉතිරි සියයට 49 ලබාදෙන්නේ මහා භාණ්ඩාගාරයෙන් බවත්, පසුගිය මාස තුනක කාලයේදී ලොතරැයි නොතිබූ නිසා මහපොළ අරමුදලට එම ආදායම නොලැබුණු බවත් ඇමතිවරයා සඳහන් කළේය.

එබැවින් ණයක් ලබාගෙන හෝ මහපොළ ශිෂ්‍යත්ව මුදල් අඛණ්ඩව ගෙවීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස තමන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිවූ බව ද ඇමතිවරයා කීවේය.
ඇමති බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (11) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.

මාසිකව විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් 60,000කට මසකට 5000 බැගින් මහපොළ ශිෂ්‍යාධාරය හිමිවන බව කී ඇමතිවරයා ඒ වෙනුවෙන් මසකට රුපියල් මිලියන 160ක් වැය වන බව ද පැවසීය.

එම සිසුන්ට මේ වන විට අන්තර්ජාලය ඔස්සේ අධ්‍යයන කටයුතු සිදුවන බැවින් ඔවුන්ට පරිගණක ලබාගැනීම සඳහා පොලී රහිත ණය මුදලක් ලබාදීමටත් සාකච්ඡා කරගෙන යන බව ද ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කීවේය.