මහපොළ වංචා ගැන අහන්න විගණකාධිපතිත් කොමිසමට කැඳවයි


(තිළිණි ද සිල්වා)
 ‘මහපොළ’ උසස් අධ්‍යාපන භාරකාර අරමුදලේ සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දුෂණ හා වංචා සිද්ධීන් පිළිබඳව සාක්කි ගැනීමට ලබන 21 වැනිදා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින්නැයි දන්වමින් එම කොමිසම අද (13)  රජයේ විගණකාධිපතිවරයා වෙත සිතාසි නිකුත් කළේය.
 
රජයේ ආයතන වල සිදු වී ඇතැයි සැලකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙම කොමිසම පත් කරනු ලැබ තිබේ.
 
මහපොළ භාරකාර අරමුදලේ  රුපියල් කෝටි 2300ක මුදලක් අවභාවිත කර ඇතැයි පවසමින් එම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ ගොනු කළ පැමිණිල්ලේ වැඩිදුර විභාගය  අද (13) පැවැති අතර එහිදී එම කොමිසමේ සභාපති හිටපු විනිසුරු උපාලි අබේරත්න මහතා   මෙලෙස සිතාසි නිකුත් කළේය.
 
පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජයදාස රාජපක්ෂ මහතා   ගොනු කළ එම පැමිණිල්ලට අදාළව වැඩිදුර සාක්කි ලබා දීමට පැමිණිලිකාර මන්ත‍්‍රීවරයා අද ජනාධිපති කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිත වුවද පෞද්ගලික හේතූන් මත හෙතෙම   පෙනී නොසිටියේය.
 
මහපොළ අරමුදලේ වංචා දුෂණ සම්බන්ධයෙන් අද දින කොමිසම හමුවේ සාක්කි ලබාදුන් මහපොළ අරමුදලේ අධ්‍යක්ෂක පරාක‍්‍රම බණ්ඩාර මහතා කියා සිටියේ මහපොළ අරමුදලේ මුදල් අවභාවිත වී ඇති බව තමාද පිළිගන්නා බවයි. රටේ දුප්පත් දරු දැරියන් වෙනුවෙන් ලලිත් ඇතුළත්මුදලි මහතා ආරම්භකළ මහපොළ භාරකාර අරමුදලේ පරමාර්ථ 2015 වසරින් පසු කඩා වැටුණු බවත් , එම කාලය තුළ පාලක මණ්ඩලවල අයථා කටයුතු නිසා එයට ලැබිය යුතු විශාල මුදල් ප‍්‍රමාණයක් අහිමි වූ බවත් එම අරමුදලේ අධ්‍යක්ෂවරයා ජනාධිපති කොමිසම හමුවේ වැඩිදුරටත් කියා සිටියේය.