මහපොළ නම වෙනස් වෙයි?


(ඩයනා උදයංගනී)

මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ නම ලලිත් ඇතුලත්මුදලි උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාරකාර අරමුදල ලෙස වෙනස් කිරීමට කටයුතු කරන බව එම අරමුදලේ වත්මන් සභාපති, වෙළඳ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (12) පැවසීය.

ආර්ථික දුෂ්කරතා ඇති පවුල්වල විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් තමන්ගේ පෞද්ගලික මුදල් යොදවා මෙම අරමුදල ආරම්භ කළ දිවංගත වෙළද අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මහතාට දක්වන කෘතවේදීත්වයේ උපහාරයක් ලෙස මෙම නම්කිරීම සිදුකරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම මෙම අරමුදලේ සභාපතිධූරය සඳහා ජනාධිපතිවරයා විසින් නම්කරන විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් පත්කිරීමටත්, භාරකාර අරමුදලේ සේවක, පාලක සියලු දෙනා පොදු දේපල පනතට යටත් කිරීමටත් හැකිවන පරිදි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල සංශෝධනය කිරීම සඳහා වන නීති කෙටුම්පත තමන් කැබිනට් මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කළ බව කී ඇමතිවරයා එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වෙනුවෙන් අනුමැතිය හිමිවූ බව ද කීවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.