මහනුවර හොර මුද්‍රණාල දෙකක් වටලයි


ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් හා වෙනත් රජයේ ලියකියවිලි මුද්‍රණය කළ ස්ථාන දෙකක් වටලා පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ගලගෙදර පොලිසිය කියයි.

ලොතරැයි, විදේශ ගමන් බලපත්‍ර, උප්පැන්න, විවාහ හා මරණ සහතික, අධ්‍යාපන සහතික, ආදායම් බලපත්‍ර, රක්ෂණ සහතික ඇතුළු ව්‍යාජ ලිපි ලේඛන මුද්‍රණය කර ඇති මෙම මුද්‍රණාලය සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු තොරතුරක් මත වැටලීම සිදුකර ඇත.

ඒවාහි තිබී ව්‍යාජ රුපියල් දෙදහසේ නෝට්ටු 06 ක් හා දහසේ නෝට්ටු 19 ක් සමඟ දිනුම් ලද ලොතරැයි පත්වල ව්‍යාජ පිටපත් තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් ලොතරැයි දිනුම් ඇදීම රූපවාහිනියෙන් නරඹා පසුදින එම අංක වලට ගැලපෙන ලෙස රුපියල් 10,000 ට අඩු දිනුම් සහිත ව්‍යාජ ලොතරැයි පත් මුද්‍රණය කැර තිබෙන බවත් මෙසේ මුද්‍රණය කැර මොවුන් දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් එම දිනුම් වලට අදාළ මුදල් වංචනික ලෙස ලබාගෙන ඇති බවත් පොලිස් පරීක්ෂණ මගින් අනාවරණයවී ඇත.මෙම ලිපි ද්‍රව්‍ය මුද්‍රනය කල මුද්‍රණ යන්ත්‍ර ,සීඩී තැටි ඇතුළු උපකරණ රැසක්ද පොලීසිය භාරයට ගෙන තිබේ.

ගලගෙදර ප්‍රදේශයේ ස්ථානය වැටලීමෙන් පසු අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් ලද තොරතුරු මත මහනුවර ස්ථානය වටලා තිබෙන අතර මොවුන් සම්බන්ධතා පවත්වා ගනිමින් මෙම ජාවාරම සිදුකැර තිබෙන බව පොලීසිය පවසයි.

galagedara-police.00_04_2015102619_21.Still002-(1) galagedara-police.00_2015102602_10_00.Still001