මහනුවර භූ කම්පනයට හේතු සොයන්න තවත් කණ්ඩායමක්


(ඩයනා උදයංගනී)

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට 29 වැනිදා රාත්‍රීයේ විශාල පිපිරුම් හඬක් සමඟ ඇතිවූ භූ කම්පන තත්ත්වයට හේතුව කුමක්දැයි සොයාබැලීම සඳහා භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේ තවත් කණ්ඩායමක් හෙට (1) දිනයේදී එම ප්‍රදේශයට ගොස් පරීක්‍ෂණ ආරම්භ කිරීමට නියමිත බව  එම කාර්යාංශයේ අධ්‍යක්‍ෂ, ඉංජිනේරු සජ්ජන ද සිල්වා මහතා ලංකාදීපයට පැවසීය.

භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේ සුනාමි අධ්‍යයන අංශයේ ප්‍රධානී, භූ විද්‍යාඥ නිල්මිණී තල්දෙන මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කණ්ඩායමට ඇය ඇතුළු නිලධාරීන් හය දෙනෙකු ඇතුළත් බව අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

මේ ගැන සොයාබැලීම සඳහා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ නිලධාරීන් තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊයේ (30) දිනයේදීත් එහි ගොස් පරීක්‍ෂාවක නිරත වූ අතර එහිදී රැස්කරගත් තොරතුරු හා දත්ත ද මේ වන විට විශ්ලේෂණය කරමින් පවතින බව ඔහු කීවේය.

මෙම ඇති වූ සිද්ධියට හේතුව සෙවීමට තව දුරටත් සියුම්ව මේ ගැන පරීක්‍ෂා කළ යුතු බව පෙනී ගොස් ඇති නිසා තවත් කණ්ඩායමක් ඒ වෙනුවෙන් යෙද වූ බව ද හෙතෙම සඳහන් කළේය.