මහනුවර නා.මන්ත්‍රීගේ ගිනි ගත් නිවසින් පවුම් 34ක් අතුරුදන්


(ෂේන් සෙනෙවිරත්න) 

මහනුවර මහ නගර සභාවේ පොදුජන පෙරමුණු නාගරික මන්ත්‍රී සංගීත් සිල්වා මහතාගේ නිවසට පහර දෙද්දී එම නිවසේ තිබූ රන් පවුම් 34.5 ක් මුදලින් රුපියල් ලක්ෂ අටක් ඇතුළු වටිනා භාණ්ඩ තොගයක් අස්ථානගත වී ඇතැයි මහනුවර මූලස්ථාන පොලීසියේ අපරාධ අංශයට පැමිණිල්ලක් ලැබී තිබේ .

නාගරික මන්ත්‍රී සංගීත් සිල්වා මහතාගේ බිරිඳ වන කරලියද්දේ ගෙදර රේණුකා ධර්මවංශ මහත්මිය  එම පැමිණිල්ල ඉදිරිපත් කොට තිබේ .

අංක 15, ඇහැලේපොළ කුමාරිහාමි මාවත බෝගම්බර පිහිටි තම නිවසේ තිබූ රන්, මිල මුදල්, ඇතුළු වටිනා භාණ්ඩ තොගයක් එසේ අස්ථානගත වී ඇති බව ඇය විසින් පැමිණිල්ලේ සඳහන් කොට තිබේ .

ඉකුත් මැයි මස 09 වැනි දිනදි මහනුවර ජෝර්ජ් ඊ. ද සිල්වා උද්‍යානය ඉදිරිපිට පවත්වාගෙන යන ගෝඨා ගෝගම අරගල කරුවන් ගේ පරිශ්‍රයට මැර ප්‍රහාරයක් එල්ල වූ  ප්‍රහාරයෙන් පසු එදිනම රාත්‍රී සංගීත් සිල්වා මහතාට අයත් තුන් මහල් බෝගම්බර නිවස අසලට රැස් වූ විශාල පිරිසක් ඔහුගේ නිවසේ ඉදිරිපස දොර කඩාගෙන ඇතුළුවී නිවසට පහර දි නිවසේ තිබූ බඩුබාහිරාදිය සියල්ල එලියට දමා ගිනි තැබූහ.