මහනුවර නගරයේ වැටි තිබූ ලක්ෂ දෙකක මුදලක් හිමිකරුට බාර දෙයි


(මොහොමඩ් ආසික්)
 
ශ්‍රී  ලංකාවේ සංචාරයක් සඳහා පැමිණ සිටි ඉරාකයේ බග්දාද් විශ්ව විද්‍යාලයේ  කථිකාචාර්යවරයෙකුට අයත් රුපියල් ලක්ෂ දෙකකට වඩා වටිනාකමකින් යුත් විදෙස් මුදල් සහ හැඳුනුම්පතක් ඇතුළු ලියකියවිලි  ඇතුලත් මුදල් පසුම්බිය මහනුවර නගරයේ වීදියක වැටී තිබියදී  අහුලා ගත් තරුණයින් හය දෙනෙකු එම  කථිකාචාර්යවරයා සොයා  එම මුදල් පසුම්බිය අද (23) වැනිදා බාර දුන්හ.

 
ඊයේ 22 වනදා සවස මහනුවර නගරයේදී මෙම මුදල් පසුම්බිය මෙම තරුණ පිරිසට හමු වී  ඇති අතර එය ඔවුන් වැඩිහිටියන් දැනුවත් කර මෙම මුදල් පසුම්බියේ තිබූ හැඳුනුම්පත උපයෝගී කර ගෙන මහනුවර කුඩුගල පිහිටි අයිචි ලයින් ආයතනයේ අස්මි මහතා ඇතුළු  පිරිස  ඉරාක තානාපති කාර්යාලය අමතා  අදාල මහාචාර්යවරයා හඳුනා ගෙන ඔහු මහනුවර කුඩුගල පිහිටි අයිචි ලයින් ආයතනයට කැඳවා මෙම මුදල මහාචාර්යවරයා වෙත භාර දෙනු ලැබීය.
 
මෙම මුදල් පසුම්බිය සොයාගෙන ඇත්තේ අකුරණ ප්‍රදේශයේ පදිංචි මොහමඩ් රසීම්, ආකිල්, නිෂාද්, ෂෆ්නි, ෂාකිර්, සහ සිහ්රාන් යන තරුණයින් හය දෙනායි.
 
ඉරාකයේ බග්දාද් විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරන මොහම්මද් අන්වර් මහමූද් මහතා  ප්‍රකාශ කළේ  තමන් මෙම සිදු වීමෙන් ශ්‍රී ලංකාවේ තරුණ පිරිසේ අවංකත්වය දුටු බවත් මෙම තරුණ පිරිසේ මෙම අවංක  ක්‍රියාව ගැන තමන් ආඩම්බර බවත් ඔවුන්ට ස්තුති වන්ත වන බවත්ය.