මහනුවර ජන ජිවිතය සාමාන්‍යය අතට


චමිල් රුපසිංහ
 
මහනුවර දිස්ත්‍රික්කයේ ස්ථාන ගණනාවක ඇතිවූ කඩාකප්පල්කාරී ක්‍රියාවන් හේතුවෙන් බිද වැටි තිබූ ජන ජිවිතය අද (09) වන විට සාමාන්‍යය අතට හැරෙමින් තිබිණි.

 
දින තුනක් වසා දමා තිබූ වෙළෙඳ සැල් අද (09) පෙරවරු 6.00 ට පොලිස් ඇඳිරි නීතිය නිමා කිරීමෙන් අනතුරුව සාමාන්‍යය පරිදි විවෘත කරනු ලැබූ අතර ප්‍රවාහන කටයුතුද සාමාන්‍ය තත්ත්වයෙන් පැවතිණි.
 
රාජ්‍යය ආයතන වල කටයුතුද සාමාන්‍යය තත්ත්වයෙන් සිදු කෙරිණි .මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන කිහිපයක් පමණක් විවෘත කර  තිබූ අතර  ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා පොලිස් , පොලිස් විශේෂ කාර්ය බළකා , යුද , ගුවන් හා නාවුක හමුදා නිලධාරීන් 6000 ක් පමණ සේවයේ යොදවා තිබිණි.
 
ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙකු ඇතුළු පුද්ගලයින් 23දෙනෙකු පේරාදෙණිය හා දිගන අඹකොටේ ප්‍රදේශවලින් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
 
මේ වන විට මහනුවර දිස්ත්‍රික්කයේ ආරක්ෂකව තහවුරු කොට තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් සහතිකයක් ලබා දිය හැකි බවත් යුධ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.
 
ඉදිරියේදී ඇති වන ඕනෑම සිද්ධියක් මැඩ පවත්වා ගැනීමට අවශ්‍ය ශක්තිය යුද හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට ඇති බවද  ඒ මහතා කීය.
 
යුද හමුදාපතිවරයා මෙම අදහස් පළ කළේ අද මහනුවර සිංහල , දෙමළ හා මුස්ලිම් වෙළෙඳ පෙරමුණු සමඟ අද  (09) මහනුවර පැවැති සාකච්ඡාවක් අතරතුරදීය.
 
මහනුවර දිස්ත්‍රික්ක් ජනතාව සුපුරුදු ජන ජීවිතයට ක්‍රමයෙන් හුරු වෙමින් සිටින බවත් ඔවුන්ට ජන ජීවිතය ගොඩ නංවා ගැනීමට අවශ්‍ය සියලු සහාය ලබා දීමට යුධ හමුදාව කැපවී සිටින බවත් ඒ මහතා කීවේය.
 
ඉතා සුළු පිරිසක් සිදුකළ මෙම කඩාකප්පල්කාරී ක්‍රියාවන් හේතුවෙන් ජත්‍යන්තර වශයෙන් ශ්‍රී ලාංකාවට ඇතිව තිබෙන කළු පැල්ලම විශාල බවත් එය ඉවත් කර ගැනීම එතරම් පහසු නොවන බවත් හෙතෙම අවධාරණය කළේය.
 
සංවිධානාත්මකව පිට ප්‍රදේශ වලින් පැමිණි කණ්ඩායම් පිළිබඳව මේ වන විට අනාවරණය වෙමින් පවතින බවත් සමාජ මාධ්‍යය ඔස්සේ ජනතාව ප්‍රකෝප කරවූ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඉතිරි සියලු දෙනා අත්අඩංගුවට ගැනීම ඉතා පහසුවක් වන බැවින් නුදුරේදීම ඔවුන් සියල්ල අත්අඩංගුවට ගත හැකි වනු ඇති බවද ඒ මහතා කීය.
සිදුවූ අලාභයන් පිළිබඳ තක්සේරු කිරීම සඳහා තක්සේරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 24  දෙනකු ගෙන් සමන්විත කණ්ඩායමක් යෙදවූ බව මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී හිටිසේකර මහතා පවසයි.

නැවත මෙවැනි අවාසනාවන්ත සිදු වීමක් සිදු නොවීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරු, ග්‍රාම නිලධාරීන් ඇතුළු රජයේ නිලධාරීන් මෙන්ම සර්ව ආගමික පූජකවරුන් සමඟ සාකච්ඡා කොට අවශ්‍ය තීන්දු තීරණ ලබාගත් බවද දිසාපතිවරයා ප්‍රකාශ කළේය.