තරිඳු ජයවර්ධන
මහනුවර ප්‍රදේශයේ දී පසුගිය මාසයේ ඇති කළ ප්‍රචණ්ඩ කාරී ක්‍රියා සම්බන්ධයෙන් සැකපිට යුද හමුදාවේ හිටපු සෙබළකු ඇතුළු හතර දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
ත්‍රස්ත විමර්ශන අංශය මේ සම්බන්ධයෙන් මුලින් 10 දෙනකු අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගෙන් ලද තොරතුරු අනුව සහ එම අංශයෙන් සිදු කළ වැඩිදුර විමර්ශනවලින් අනාවරණය වූ තොරතුරු අනුම මෙම සැකකරුවන් හතර දෙනා අත්අඩංගුවට ගෙන ඇත.
කම්කරුවකු ලෙස රැකියාව කරන රජවැල්ල ගෝනවල පදිංචි ප්‍රසන්න අබේවර්ධන නම් සැකකරු දිගන ප්‍රදේශයේ වෙළෙඳසැල් හා ආගමික ස්ථානවලට ගිනි තැබීම ආදී චෝදනාවලට අත්ඩංගුවට ගෙන ඇති අතර ඔහු තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් හෙට දක්වා රිමාන්ඩ් කර තිබේ.
කටුගස්තොට කහල්ලේ පදංචි සුදිලිනාරගෙදර ශාන්ත ප්‍රියන්ත නම් අනිත් සැකකරු ත්‍රීරෝද රථ අලුත්වැඩියා කරන ගරාජයක් පවත්වාගෙන යන බවත්, මඩවල ප්‍රදේශයේ වෙළෙඳසැල්වලට ගින්නෙන් අලාභ හානි කිරීමට සැකපිට අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි. ඔහු අප්‍රෙල් 10 වැනි දා තෙක් රිමාන්ඩ් කර ඇත.
පූජාපිටිය අඹතැන්න වෙළෙඳසල්වලට සහ ආගමික ස්ථානවලට ගිනි තැබීම සහ අලාභ හානි කිරීමේ චෝදනාවට අත්අඩංගුවට අඹතැන්නේ පදිංචි දිසානායක මුදියංසේලාගේ සම්පත් සූරියබණ්ඩාර නම් සැකකරු ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මේ වන තෙක් අධිකරණයට ඉදිරිපත් කර නැත.
හේරත් මුදියන්සේලාගේ පියතිස්ස නම් අඹතැන්නේ පදංචි හිටපු යුද හමුදා සෙබළා අත්අඩංගුවට ගෙන ඇත්තේ පූජාපිටිය පොලිස් වසමේ අඹතැන්න ප්‍රදේශයේ වෙළෙඳසැල්වලට හා ආගමික ස්ථාන වලට ගින්නෙන් අලාභ හානි සිදුකිරීමේ චෝදනාවට බවත්, ඔහු ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය කියයි.