මහජන සෞඛ්‍ය පරීක්ෂකයෝ වැඩ වරන්න සැරසෙති


( ජුඩ් සමන්ත)

පුත්තලම නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට පහර දීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු නොකළහොත් ලබන 16 වැනිදා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් සහ විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බව සමස්ථ ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

පසුගිය 12 වැනිදා පුත්තලම - කුරුණෑගල මාර්ගයේ ලංකා ගමනා මණ්ඩලයට අයත් බස් ඩිපෝව ආසන්නයේදී මෙම පහර දීම සිදුව ඇතැයි කියැවේ.
පහර කෑමට ලක්වූ මහජන සෞඛ්‍ය පරීක්ෂක නඩරාජා සුරේෂ් මහතා ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.

පුත්තලම නගරයේ පවත්වා ගෙන යන අනවසර වෙළදසැල් ඉවත් ඉවත් කිරීමේ අවස්ථාවකට පහර කෑමට ලක්ව ඇති මහජන සෞඛ්‍යය පරීක්ෂකවරයාද සහභාගි වී ඇත.

රාජකාරිය අවසන් කර මහජන සෞඛ්‍යය පරීක්ෂකවරයා යතුරු පැදියෙන් තම නිවස බලා යමින්  සිටින අතරතුර ත්‍රී රෝද රථයකින් පැමිණි අයකු මෙම පහර දීම කර ඇතැයි පැවසේ.

පහර දීම සිදුවී දින දෙකක් ගත වී ඇතත් ඊට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මෙතෙක් කටයුතු කර නොමැති  සභාපතිවරයා කියයි.

මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා දැණුම්වත් කිරීමට කටයුතු කර ඇති බවත් කඩිනමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු නොකළහොත් වැඩ වර්ජනයක් සහ විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බවද උපුල් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.