(ඩයනා උදයංගනී)
දින කිහිපයක් තිස්සේ ඇද හැලෙන මහ වැසි හේතුවෙන් මේ වන විට දිවයිනේ පළාත් 8ක දිස්ත‍්‍රික්ක 18 ක පවුල් 14,432කට පමණ අයත් පුද්ගලයින් 52,380 දෙනෙක් පීඩාවට පත්ව සිටිති.
මුලතිව්, වව්නියාව, මහනුවර, නුවරඑළිය, මාතලේ, බදුල්ල, මොණරාගල, කෑගල්ල, රත්නපුර, ගාල්ල, මාතර, හම්බන්තොට, කළුතර, ගම්පහ, කොළඹ, කුරුණෑගල, පුත්තලම, සහ පොළොන්නරුව දිස්ත‍්‍රික්කයන්හි මෙම ආපදා තත්ත්වය බලපා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
අකුණු සැර වැදීම් සහ ගස්, පස් කඳු කඩා වැටීම හේතුවෙන් මේ වන විට මරණ අටක් ද වාර්තා වී ඇත.
මෙම අයහපත් කාලගුණ තත්ත්වයෙන් අවතැන් වූ පවුල් 4075කට අයත් 12,132ක පිරිසක් ආරක්‍ෂිත ස්ථාන 137 ක රඳවා සිටින බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
මෙහි වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ රත්නපුර දිස්ත‍්‍රික්කයට වන අතර එම දිස්ත‍්‍රික්කයේ ඇහැලියගොඩ, කුරුවිට, නිවිතිගල, රත්නපුර, ඇලපාත, කහවත්ත, කලවාන, කිරිඇල්ල, පැල්මඩුල්ල, ඕපනායක, අයගම, බලංගොඩ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි පවුල් 3983කට අයත් 15,514 දෙනෙක් පීඩාවට පත්ව සිටින බව කොඩිප්පිලි මහතා සඳහන් කළේය.