මහ වැස්සෙන් පවුල් 2194 ක් පීඩාවට


(ඩයනා උදයංගනී)
 
දින කිහිපයක් තිස්සේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට දිස්ත‍්‍රික්ක 10 ක පවුල් 2194කට අයත් පුද්ගලයින් 8690 දෙනෙක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
 
අකුණු සැර වැදීම් සහ ගසක් කඩා වැටීම හේතුවෙන් මේ වන විට මරණ තුනක්ද වාර්තා වී තිබේ.
 
තද වැසි සහිත මෙම කාලගුණ තත්ත්වයෙන් වැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ ගාල්ල දිස්ත‍්‍රික්කයට වන අතර එම දිස්ති‍්‍රක්කයේ බෝපෙ පෝද්දල, කඩවත්සතර, බලපිටිය, අක්මීමන යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි පවුල් 1960 කට අයත් 7742 දෙනෙකු පීඩාවට පත්ව සිටිති. 
 
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරියටත් පවතින බවයි. 
 
සබරගමුව පළාතේ ඇතැම් ස්ථානවලට  මිලිමීටර් 150 පමණ වැසි ඇතිවිය හැකි අතර මධ්‍යම, ඌව සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්කවලත් ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් පැවසීය.