මහ බැංකුවේ නියෝජ්‍ය අධීපති නීතිඥවරයාගේ යෝජනාව ප්‍රතික්ෂේප කරයි


(මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)

සේවක අර්ථ සාධක අරමුදලේ මුදල් සෘජු වෙන්දේසි ක‍්‍රමය මඟින් භාණ්ඩාගාර    බැඳුම්කරවල යෙදවීමෙන් සිදුවන මුදල් අවභාවිත වීම වෙන්දේසි ක‍්‍රමය මඟින් වළක්වා ගැනීමට හැකි වෙන බවට නීතිඥ  හර්ෂ ප‍්‍රනාන්දු මහතාගේ යෝජනාව තමා ප‍්‍රතික්ෂේප කරන්නේ යැයි බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත‍්‍රසිරි, ප‍්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කිරීම සිදු කෙරේ.

2015 පෙබරවාරී මස පළමු වැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර  නිකුත් කිරීම පිළිබඳව  සොයා බැලීම සඳහා මෙම ජනාධිපති පරීක්‍ෂණ කොමිසම පත් කර ඇත.

කොමිසමේ කටයුතු ආරම්භ කළ අවස්ථාවේදී කොමිසමේ දැනුම් දීම මත ජ්‍යෙෂ්ඨ  රජයේ නීතිඥ  ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය විසින් 2013 සිට 2016 දක්වා වාර්ෂික මහ  බැංකු වාර්තා හතරක් කොමිසමට ඉදිරිපත් කළාය.

භාණ්ඩාගාර   බැඳුම්කර  නිකුත් කිරීම සඳහා පත්කළ ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිවරයා වෙනුවෙන්  පෙනී සිටින නීතිඥ  හර්ෂ  ප‍්‍රනාන්දු මහතාගේ හරස් ප‍්‍රශ්න වලට පිළිතුරු දෙමින් බැඳුම්කර   කොමිසම හමුවේ සිව්වැනි දිනයටත් සාක්කි දුන් මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය අධිපතිවරයා මෙසේද පැවසීය.

මෙම වාර්තා වල 2017 ජනවාරි 17 වැනිදා දක්වා භාණ්ඩාගාර   වෙන්දේසිවල ලංසු තැබීම් සඳහන් වෙනවා. එහි 188 වැනි පිටුවේ මාගේ අත්සන සඳහන් වෙනවා.2013 සැප්තැම්බර් 16 වැනිදා සහ 17 වැනිදා සෘජු බැඳුම්කර නිකුතු දෙකක් නිකුත් කර ඇති අතර එහි ගෙවීම් කරන දිනය හැර සෙසු සියලු කරුණු එක හා සමානයි.

ප්‍රශ්නය. මෙම සෘජු බැඳුම්කර   නිකුතු දෙකේදී මිල ගණන් දෙකක් වුවත් පොළී අනුපාත වෙනස් නේද?

පිළීතුර.ඔව්.

ප්‍රශ්නය. 2009 නොවැම්බර් 27 වැනිදා බැඳුම්කර ලේඛණවලට එදිනම අත්සන් තබා තියෙනවා නේද?

පිළීතුර.ඔව්. එම ලේඛනයට මා ඇතුළු තව කිහිප දෙනෙකු අත්සන් කර තියෙනවා.

මේ අවස්ථාවේදී නීතිඥ  හර්ෂ  ප‍්‍රනාන්දු මහතා විසින් 2017 වර්ෂයේදී පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කළ අයවැය වාර්තාවේ කර  සක් කොමිසමට ඉදිරිපත් කරමින් රාජ්‍ය ණය කළමණාකරණ දෙපාර්තමේන්තුව  ශ්‍රී ලංකා මහ  බැංකුවෙන් ඉවත් කරන බව සඳහන් කර   ඇති බව දැනුම් දුන්නේය.

ප්‍රශ්නය. සේවක අර්ථ සාධක අරමුදලේ මුදල් භාණ්ඩාගාර  බැඳුම්කරවල යෙදවීම නීතී වීරෝධී බව කිසිවෙකුට කියන්න පුළුවන් නේද?

පිළීතුර.ඔව්.

ප්‍රශ්නය. සම්මත තැන්පතු අනුපාතය වන සීයයට 05 ඉවත් කිරීම නිසා පොළී ඉහළ ගියා නේද?

පිළීතුර.ඔව්.

මේ අවස්ථාවේදී නීතිඥ  හර්ෂ  ප‍්‍රනාන්දු මහතා විසින් ඒ සම්බන්ධයෙන් මහ බැංකුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදන සහ තවත් ලේඛණ කිහිපයක් කොමිසමට ඉදිරිපත් කළේය.

ප්‍රශ්නය. සම්මත තැන්පතු අනුපාතය වන සීයයට 05 ඉවත් කිරීම වෙළෙඳ පොළ සංවේදී තොරතුරක්ද?

පිළීතුර.ඔව්. නවසීලන්තය වැනි යුරෝපා රටවල මහ බැංකු අධිපතිවරයාට ඉලක්කයක් ලබාදෙනවා. එය සපුරා ගැනීමට නොහැකි වුවහොත් ඔහු තනතුරින් ඉල්ලා අස් විය යුතුයි. නැත්නම් ඔහු පාර්ලිමෙන්තුව ඉදිරියට ගෙන්වා ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වු හේතුව ඉදිරිපත් කළ යුතුයි. නමුත් එවැනි ක‍්‍රමවේදයක් ලංකාවේ නැහැ.

ප්‍රශ්නය. 2015 පෙබරවාරි මස 27 වැනිදා සම්මත තැන්පතු අනුපාතය වන සියයට 05 ඉවත් කිරීමට මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා නියම කළ තැන ඔබත් හිටියද?

පිළීතුර.ඔව්. එතැන මාත් හිටියා.

ප්‍රශ්නය. නමුත් ඒ සම්බන්ධයෙන් නිකුත් කළ ලේඛණයේ කිසිම තැනක ඔබ අත්සන කර නැහැ නේද?

පිළීතුර.සම්මත තැන්පතු අනුපාතය වන සියයට 05 ඉවත් කිරීමට මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගේ තීරණය සම්බන්ධයෙන් මා එකඟ වුණේ නැහැ. ඔහුගේ එම තීරණය සම්බන්ධයෙන් මා ඔහු සමඟ වාද විවාද කළා.

ප්‍රශ්නය. ඔබ ඩිව් ගුණසේකර මහතාගේ සභාපතිත්වයෙන් යුත් කොප් කමිටුවේ සාක්කි දෙමින් මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා, මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකු වූ ආනන්ද සිල්වා මහතා සහ ඔබ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව ට ගිය බව පවසා තියෙනවා එය ඇත්තද?

පිළිතුර.  ඔව්.

ප්‍රශ්නය. රුපියල් බිලියන 10ක මුදලකට බැඳුම්කර   නිකුත් කරන ලෙස මහ  බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා කීවාද?

පිළීතුර.ඔව්. එතැන මාත් හිටියා.

ප්‍රශ්නය. එතකර   වේලාව නීයට විතර ඇද්ද?

පිළිතුර.  දවල් 12.00 විතර ඇති.

විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා. මහ  බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගේ යෝජනාවට ඔබ එකඟ වුණාද?

පිළිතුර.  නැහැ.

ප්‍රශ්නය. අලෙවි මෙහෙයුම් කමිටු රැස්වීමේ හිටියේ කවුද?

පිළිතුර.  අලෙවි මෙහෙයුම් කමිටු රැස්වීමේ හිටියේ බිංදු කරුණාතිලක, නිහාල් රුද්‍රිගු සහ විජේසේන මහත්වරුනුයි.

ප්‍රශ්නය. එම අලෙවි මෙහෙයුම් කමිටු රැස්වීමට යෑමය පෙරම සම්මත තැනුපතු අනුපාතය වන සියයට 05 ඉවත් කිරීමට සහ වසර 30ක කාලයකට බැඳුම්කර  නිකුත් කිරීමට තීරණය කර ඇති බව එම මහත්වරුන් දැනගෙන හිටියා නේද?

පිළිතුර.  මා ප්‍රතික්ෂේප කරනවා.

ප්‍රශ්නය. සේවක අර්ථ සාධක අරමුදලේ මුදල් සෘජු වෙන්දේසි ක‍්‍රමය මඟින් භාණ්ඩාගාර   බැඳුම්කරවල යෙදවීමෙන් සිදුවන මුදල් අවභාවිත වීම වෙන්දේසි ක‍්‍රමය මඟින් වළක්වා ගැනීමට හැකි වෙන බවට මා යෝජනා කරනවා.

පිළීතුර.මා එය සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා.

වැඩිදුර සාක්කි විමසීම කල් තබන ලදී.

මෙම කොමිසමේ කටයුතු සඳහා අතිරේක සොලිස්ටර් ජනරාල් යසන්ත කෝදාගොඩ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ප‍්‍රියන්ත නාවාන, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක  , ජ්‍යෙෂ්ඨ  රජයේ නීතිඥ  ෂහිඩා බාරී, ජ්‍යෙෂ්ඨ  රජයේ නීතිඥ  ආචාර්ය අවන්ති පෙරේරා, ජ්‍යෙෂ්ඨ  රජයේ නීතිඥ  නයෝමී වික‍්‍රමසේකර, රජයේ නීතිඥ   ධනුෂන් කනේෂයෝගන් යන මහත්ම මහත්මීන් සමඟ  අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ  දප්පුල ද ලිවේරා මහතා සාක්කි මෙහෙයවමින් කොමිසමේ කටයුතු සඳහා සහය ලබා දුන්නේය.

පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම වෙනුවෙන් නීතිඥ  නෙරංජන් අරූල්ප‍්‍රගාසම් මහතා සහ නීතිඥ  රොමාලි තුඩාවේ මහත්මිය සමඟ ජනාධිපති නීතිඥ  නිහාල් ප‍්‍රනාන්දු මහතාද භාණ්ඩාගාර   බැඳුම්කර  නිකුත් කිරීම සඳහා පත්කළ ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිවරයා වෙනුවෙන්  නීතිඥ  ශනිල් පෙරේරා සහ නතාෂා නුර්දීන් මහත්මිය සමඟ නීතිඥ  හර්ෂ  ප‍්‍රනාන්දු මහතාද ශ්‍රී ලංකා මහ  බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා වෙනුවෙන් නීතිඥ  චානක ද සිල්වා මහතාද කොමිසම හමුවේ පෙනී සිටියහ.