මහ ඇමැති ප්‍රසන්නට ඇතුළෙන්ම කැරැල්ලක්


බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරුන් කොටස් දෙකකට බෙදී ඇතැයි දේශපාලන ආරංචි කියයි.

මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරවීමට වෙහෙසෙන මහ ඇමැති ප්‍රසන්න රණතංගු ඇතුළු කණ්ඩායම ගැන විනය පරීක්ෂණ පවත්වන්නැයි පළාත් සභා ඇමැතිවරුන් වන ගාමිණී තිලකසිරි සහ රංජිත් සෝමවංශ ඇතුළු පිරිසක් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා ඇතැයි ද එම ආරංචි සඳහන් කරයි.

ජනපති සිරිසේන ඉවත් කර  හිටපු ජනපති නැවත ශ්‍රීලනිප සභාපති ලෙස පත් කළ යුතු යැයි මහ ඇමැතිවරයාගේ නිවසේ පසුගියදා පැවැති සාකච්ඡාවකින් පසු යෝජනාවක් සම්මත කර ගෙන ඇතැයි ද කියති.

පළාත් ඇමැති ගාමිණී තිලකසිරි සහ රංජිත් සෝමවංශ මහත්වරුන්ගේ පාර්ශ්වය අද මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පැවසුවේ සිරිසේන මහතා තවදුරටත් පක්ෂ සභාපති ලෙස තබා ගත යුතු බවයි.

එම මාධ්‍ය සාකච්ඡාවට ඇමැතිවරු දෙපලට අමතරව  ඉසුර දේවප්‍රිය, හෙක්ටර් බෙත්මගේ, මල්ෂා  කුමාරතුංග, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, මංජුල බුද්ධදාස, උපාලි ගුණරත්න, අමල් සිල්වා සහ සිමිත් ලාල් මෙන්ඩිස් යන මන්ත්‍රීවරු ද සහභාගී වූහ.

ඔවුන් කීවේ තමන් සමඟ පළාත් මන්ත්‍රීන් 22ක් සිටින බවයි.