මරණයට නියම වු මන්ත්‍රී අසුන රැකගන්න හදයි


දෙදෙනෙකු ඝාතනය කර තවත් තිදෙනෙකු මරා දැමීමට තැත් කීරීමේ වරදට මරණ දඬුවම නියම වී සිටින තමාගේ මන්ත‍්‍රී ධූරය අහෝසි කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සබරගමු පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ පළාත්  සභා මන්ත‍්‍රී ටී. හසිත සමන්ත මුහන්දිරම් මහතා අභියාචනාධිකරණයට අද (28)  පෙත්සමක් ගොනු කළේය.

තමාට මරණ දඬුවම නියම කළ මහාධිකරණ නඩු තීන්දුවට එරෙහිව අභියාචන පෙත්සමක් ඉදිරිපත් කර ඇති බැවින් දැනට රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින තමාට පළාත් සභා රැස්වීම සහභාගී විය හැකි බැවින් එම මන්ත‍්‍රී අසුනට වෙනත් අයෙකු පත් කළ යුතු බවට මැතිවරණ කොමසාරිස් ගෙන ඇති තීරණය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස මෙම පෙත්සම මඟින් ඉල්ලා තිබේ.

මැතිවරණ කොමසාරිස්වරයා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මැතවරණ කොමසාරිස් එම්.ඒ.පී.සී.පෙරේරා,සබරගමුව පළාත් සභාවේ ලේකම් ලලිත් දොඩම්කොටුව, එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් කබීර් හෂීම් ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.

තවද තම මන්ත‍්‍රී ධූරය අහෝසි කරමින් මැතිවරණ කොමසාරිස්වරයා ඉකුත් 20 වැනිදා නිකුත් කළ ලිපිය ක‍්‍රියාත්මක්වීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු ඉල්ලා සිටීයි.