මරණ දඬුවමට සමසමාජය එරෙහි වෙයි


බිඟුන් මේනක ගමගේ

 

ලංකා සමසමාජ පක්ෂය කිසිදු වරදකරුවකුට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට විරුද්ධ යැයි එහි ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතා පැවැසීය.

 

මත්ද්‍රව්‍ය මාෆියාවට එරෙහිව ක්‍රියාත්මක වැඩපිළිවෙළදී වුවද පොලිස් අත්අඩංගුවට පත්වන්නේ හාල්මැස්සන් මිස තෝරු මෝරුන් නොවේ යැයි කී හෙතෙම අහිංසකයන් එල්ලා දමන්නට වුවද මෙම ක්‍රමය අවභාවිත විය හැකි යැයි අවධාරණය කළේය. 

 

ලොව පුරා මරණ දඬුවම ක්‍රියාත්මක කළ අවස්ථා රැසකදී අහිංසකයන් විශාල සංඛ්‍යාවකගේ ජීවිත අහිමි වී ඇතැයි ද ඒ බව දැන ගැනීමට හැකි වූයේ දඬුවම ක්‍රියාත්මක කර කලකට පසුව බැවින් ආපසු හැරවිය නොහැකි ක්‍රියාවක් බවට එය පත් වී යැයි ද මහාචාර්යවරයා කීවේය.

 

අවශ්‍ය නම් බොරු නඩු පටලවා පලිගැනීමේ ක්‍රමයක් හැටියට ද මරණ දඬුවම යොදාගැනීමේ අනතුරක් ඇතැයි ද එම නිසා එමගින් නැති ප්‍රශ්න ඇති විය හැකි යැයි ද ඒ මහතා කීය.

 

ලංකා සමසමාජ පක්ෂය පෙනී සිටින්නේ ජීවිත නගා සිටුවීමට මිස අහිමි කිරීමට නොවන්නේ යැයි ද එම නිසා කවර කොන්දේසියක් යටතේ වුවද මරණ දඬුවමට එරෙහි වීමට සිය පක්ෂය කටයුතු කරන්නේ යැයිද මහචාර්ය තිස්ස විතාරණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.