( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා මාධ්‍යවේදී මාලින්ද සෙනෙවිරත්න මහතා විසින් ඉදිරිපත් කර ඇති පෙත්සම හෙට (05) දිනට කල් තැබීමට අභියාචනාධිකරණය අද (04) තීන්දු කරන ලදී.
මාධ්‍යවේදී මාලින්ද සෙනෙවිරත්න මහතා විසින් ඉදිරිපත් කර ඇති පෙත්සම විභාග කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවට නීතිපතිවරයා විසින් මතු කර තිබෙන මූලික විරෝධතාව පිළිබඳව වැඩිදුර කරුණු දැක්වීම හෙට දිනට කල් තබා ඇත.
එම පෙත්සම අද (04) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, දීපාලි විජේසුන්දර, අචල වෙංගප්පූලි , ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ දෙවන දිනටත් කැඳවනු ලැබුවේය.
මෙහි දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා මෙම පෙත්සම විභාග කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් මතුකරන ලද මූලික විරෝධතාව සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළේය.
අනතුරුව පෙත්සම් විභාගය හෙට දිනට කල් දැමුණු අතර හෙට දින රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා විසින් වැඩිදුර කරුණු දැක්වීමට නියමිතව ඇත.
මෙම පෙත්සම සම්බන්ධයෙන් මූලික විරෝධතා මතු කරමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පුල්ලේ මහතා සඳහන් කර තිබුණේ මෙම පෙත්සම හරහා ජනාධිපතිවරයාගේ නිල කටයුත්තක් ප්‍රශ්න කිරීමකට බඳුන් කර ඇති බැවින් එය විභාග කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 35 වන වගන්තිය යටතේ අධිකරණයට බලයක් නොමැති බව සඳහන් කර තිබුණි.

