මරණ දණ්ඩනය නියමවූ අය බේරගන්න පාර්ලිමේන්තුවේ ඉන්න අයට තියෙන හදිසිය මොකක්ද


(පුෂ්පකුමාර ජයරත්න)

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් මරණ දණ්ඩනය නියමවී තිබෙන අය බේරා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ ඉන්න ලොකු මහත්වරුන්ට තියෙන හදිසිය මොකක්ද කියන එක ප්‍රශ්නයක් යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (02) කුරුණෑගල පැවැති උත්සවයකදී ප්‍රකාශ කළේය .

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය මෙහෙයවන මතින් නිදහස් රටක් වැඩසටහනට සමගාමීව වයඹ පළාත් ආණ්ඩුකාර කාර්යාලය සහ වයඹ පළාත් සභාව එක්ව වයඹ පළාතේ පාසල් සඳහා සංවිධානය  කළ මතින් මිඳී සතුටින් හිඳිමු වැඩසටහනට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මේ අදහස් ප්‍රකාශ කළේය.

කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විදුහලේදී මෙම වැඩසටහන පැවැත්විණි.

මේ රටේ ඉන්න මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ කොයි තරම් ශක්තිමත්ද කියනවානම් ඔවුන්ට එරෙහිව නියම කරන ලද මරණීය දණ්ඩනය වැළැක්වීමේ නීතියක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට තරම් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ ශක්තිමත් බවද ඔවුන් ශක්තිමත් කරන්නේ දේශපාලනඥයින් බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ මුදලින් දේශපාලනඥයින් ඇතුළු සියලුම දෙනා අල්ලාගෙන සිටින බවද මේවා පුළුල් ව්‍යාපාර වන බැවින් ලෝකයේ බොහෝ දේශපාලනඥයින් මත්ද්‍රව්‍ය මර්ධනයට අත නොගසන බවද මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

මත්ද්‍රව්‍ය මර්ධනයට අත ගැසීම මරණයට , දේශපාලනයෙන් අතුගා දැමීමට සහ ආණ්ඩු බලය පෙරළා දැමීමට හේතුවන බව දැන දැනත් තමන් රට සහ දරුවන් වෙනුවෙන් නොබියව ඒ සඳහා ඉදිරිපත් වූ බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

මේ නිසාම තමන්ට අපහාස උපහාස නින්දා අභූත චෝදනා එල්ල කරන සමාජ ජාලා වෙබ් අඩවි සහ විවිධ සංවිධාන පිටුපස මේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ගේ සල්ලි තිබෙන බවටද ජනාධිපතිවරයා චෝදනා කළේය.

ඔවුන් මේ සඳහා දේශපාලනඥයින්ද හවුල් කර ගනිමින් කෝටි ගණනින් මුදල් වියදම් කරමින් සිටින බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ මර්ධනයට තමන් කටයුතු කරමින් සිටියදී තමන්ට  ගෝත්‍රිකයෙකු බව ඇතැමුන් චෝදනා කරනවානම් අවුරුදු දහසයකට පසුව මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙන ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද නොදියුණු ගෝත්‍රිකයෙකු විය හැකි බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.