(ජුඩ් සමන්ත)
ආණමඩුව කාර්මික විද්‍යාලය ඉදි කිරීම සදහා රජයෙන් රුපියල් ලක්ෂ380 ක මුදලක් වෙන් කර ගත්තේ ඉනේ තිබුණු පිස්තෝලය එළියට ගැනීමෙන් පසුව බව වාරිමාර්ග, ජල කළමනාකරණ සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා පැවසීය.
දැදුරුඔය - සෙංගල්ඔය ව්‍යාපාරයේ වැඩ කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් පැවති උත්සවයකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
ආණමඩුව - පල්ලම ප්‍රදේශයේ දැදුරුඔය දෑලේදී මෙම උත්සවය පැවැත්වුණි.
දැදුරුඔය හරස් කර අමුණක් බැද එකතුවන ජලය සෙංගල්ඔය ඔස්සේ ආරච්චිකට්ටුව ප්‍රදේශයේ වැව් 08 ක් දක්වා ගෙන යාම මෙම ව්‍යාපාරය වේ.මේ සදහා රජය විසින් වෙන් කර ඇතිමුදල රුපියල් මිලියන 350 කි. මෙම ව්‍යාපාරය යටතේ කුඹුරු අක්කර 2000 කට වැඩි ප්‍රමාණයක් වගා කිරීමටත්, උස්සාන වාරි ව්‍යාපෘතියක් ආරම්භ කිරීම ඇතුළු වැඩ කටයුතු රැසක් සිදුවන බව මෙහිදී ප්‍රකාශ විය
වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා මෙසේද පැවසීය.
මට ඡන්දේ දීලා තියෙන්නේ නායකයින් නෙමෙයි. ජනතාව.ඒ නිසා ජනතාවට අවශ්‍ය දේවල් කරන්න කිසිදු අවස්ථාවක පසුබට වෙන්නේ නෑ. පුත්තලම දිස්ත්‍රික්කයට සාගර විශ්ව විද්‍යාලයක් ගේන්න සුදානම් වූ විට ඒ වන විට මම නියෝජනය කරපු අමාත්‍යාංශයේ ඇමතිවරයා එයට ඉඩ දුන්නේ නෑ. කාර්මික විද්‍යාලයක් ගෙන්න හදන කොට අවශ්‍ය ලියකියවිලි හැංගුවා. මට ඒ වෙලාවේ සිද්ධ වුනා ඉණේ තිබුණු පිස්තෝලයට එළියට ඇදලා ගන්න.එහෙම නැතිව මේ වැඩ කර ගන්න බෑ.දැන් ඒ කාර්මික විද්‍යාලය හැදෙනවා.
මෙහිදී කතා කළ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා මෙසේද පැවසීය. වත්මන් රජය කරන දේවල් අද ප්‍රසිද්ධ වෙන්නේ නෑ. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හොද වැඩියි.ඒකයි හේතුව.එහෙම නම් අපේ රටට අවශ්‍ය කරන්නේ පිස්තෝලයක් එළියට අරගෙන හරි වැඩක් කරන්න පුළුවන් අය කියන එක කියන්න ඕනේ.