මන්නාරම් මිනීවලේ කැනීම් යළි අරඹයි


(රොමේෂ් මධුෂංඛ)
 

පසුගිය දෙසැම්බර් 21 වැනි දා සිට තාවකාලිකව නවතා තිබූ මන්නාරම් සමූහ මිනීවලේ කැනීම් කටයුතු යළි ආරම්භ කිරීමටත්  එම මිනීවල අද (2) සිට පුළුල් කිරීමටත් පියවර ගත් බව කැනීම් කටයුතු බාර විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා කීය.

මේ අනුව 122 වැනි දිනට කැනීම් කටයුතු අද දිනයේදී ආරම්භ කෙරිණි. ඉදිරි දින කිහිපය තුළ පළමුව සමූහ මිනීවල වටා ඉදිකර ඇති ආරක්ෂිත වැට ඉවත්කර ආවරණය ඉවත් කිරීමේ කටයුතු සිදු කරන බව විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මෙසේ කීය.

‘‘ මන්නාරම් සමූහ මිනීවලේ අයින්වල මතුකරගෙන ඇති ඇටසැකිලි ඉවත් කිරීමට යාමේදී හානි විය හැකියි. ඒ නිසා අපි තීරණය කළා මේ වළ පුළුල් කරන්න ඕනෑ කියලා ඒ අනුව ප්‍රධාන පාර දෙසටත් අතුරු මාර්ගයක් පිහිටි දෙසටත් අපි පුළුල් කරන්න පියවර ගත්තා. ඒ අනුව මීටර් දෙකක් පමණ අපි මේ වළ පුළුල් කරනවා ඒකට හේතුව මේ වලේ මායිමෙත් සිරුරු කොටස් තියෙන නිසා එහාටත් ඇති කියල හිතනවා. අපිට පරික්ෂණ කටයුතු නවත්වන්න වෙන්නේ සම්පූර්ණයෙන්ම අවසන් වන මායිමක් දක්වා යන්න ඕනෑ.

‘ඒ නිසා අද අපි පස්කපන යන්ත්‍රයක් දාලා මගේ නිරීක්ෂණයෙන් පුළුල් කරන ප්‍රදේශයේ උඩ පස් ඉවත් කරලා ඉතිරි ප්‍රමාණය සාමාන්‍ය පරිදි කැනීම් සිදුකරගෙන යන්න සූදානමින් ඉන්නවා. යනුවෙනි.

දැනට සිදුකරන ලද කැනීම් වලදී සොයාගත් අස්ථි කොටස්වලින් මිනිස් සිරුරු 283 කට අදාළ අස්ථි මේ වන විට ක්‍රමානුකූලව මතුකර ගැනීමට හැකි වී ඇති බවත්, ඉන් සිරුරු 274 කට අදාළ කොටස් කැනීම් මගින් ඉවත් කර මන්නාරම් මහෙස්ත්‍රාත් අධිකරණයේ විශේෂිත කුටියක තැන්පත් කර ඇති අතර මතුවු අස්ථි කොටස් අතර ළමුන් 21 දෙනෙකුගේ යැයි සැක කුඩා ප්‍රමාණයේ අස්ථි කොටස් හමුවී කැනීම් මගින් ඉවත් කරගෙන ඇති බවද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.