(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සිංහල සහ දෙමළ භාෂා ඉගැන්වීමේ පාඨමාලාවක් ආරම්භ කෙරිණ.
ඒ අනුව සිංහල භාෂා පාඨමාලාව හැදෑරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරැ 21 දෙනෙක් සහ දෙමළ භාෂා පාඨමාලාව හැදෑරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 63 දෙනෙක් ඉල්ලුම් කර සිටිති.
පාර්ලිමේන්තු මන්ත්‍රී සේවා කාර්යාංශය විසින් සංවිධානය කෙරුණු මෙම වැඩසහටනට රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව සම්පත් දායකත්වය දුන්නේය.
මෙම වැඩසටහනේ ආරම්භක අවස්ථාවට සහභාගි වෙමින් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පැවසුවේ ජාතිවාදී, ආගම්වාදී විවිධ ගැටලු නිර්මාණය වන්නේ භාෂාවකින් නිවැරදිව සන්නිවේදනය කර ගැනීමට නොහැකි වූ තැන බවයි.
සියලු ජාතීන්ට ගරුකරන ශ්‍රේෂ්ඨ ශ්‍රී ලාංකීය ජාතියක් නිර්මාණය කිරීම උදෙසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජන සමාජයේ පෙරගමන් කරුවා වීමට මෙම භාෂාවන්ගේ වටිනාකමද ඔහු අවධාරණය කළේය.
මෙම අවස්ථාවට එක්වූ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා භාෂාව යනු සන්නිවේදන කිරීමේ මෙවලම් පමණක් නොව එය යම් භාෂාවකින් කතා කරන ජන කොටසට කරන ගෞරවයක් බව පැවසීය.
කිසිම පුද්ගලයකු ඔවුන් කතා කරන භාෂාව හේතුවෙන් කිසිම ලෙසකින් වෙනස්කොට සැළකීම නොකළ යුතු බවත්, රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය පිළිපැදීම පිළිබඳව රටේ උත්තරීතර ආයතනය මේ ආකාරයෙන් ත්‍රෛ භාෂාවෙන් කටයුතු කිරීම ඔස්සේ ලබා දෙන්නා වූ ආදර්ශය පොදු ජනතාවට උත්තේජනයක් සපයන බවත් අමාත්‍යවරයා පැවසීය.
මේ අවස්ථාවට නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මිය පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් නීතිඥ චමින්ද කුලරත්න , රාජ්‍ය භාෂා කොමසාරිස් ජනරාල් නන්දන හෙට්ටිආරච්චි සහ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, මන්ත්‍රී සේවා කාර්යාංශයේ සහකාර අධ්‍යක්ෂ (පරිපාලන) කේ. පී. චන්දන යන සහ එම කාර්යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

