මන්ත්‍රීන්ගේ ආචාරධර්ම පද්ධතිය 23 දා සභා ගැබට


(විනීතා එම් ගමගේ)

සංශෝධිත ස්ථාවර නියෝග සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සඳහා සැකසුණු ආචාර ධර්ම පද්ධතිය ලබන 23 වැනිදා සභාගත කරන බව කථානායක කරු ජයසූරිය මහතා ප‍්‍රකාශ කළේය.

එම සංශෝධිත ස්ථාවර නියෝග මේ වනවිට වෙබ් අඩවියට ඇතුළත් කර ඇතැයි ද කථානායකවරයා කීය.

ස්ථාවර නියෝග කලට ගැලපෙන අන්දමින් සංශෝධනය කර ගෙන එන්නේ පාර්ලිමේන්තුවේ විනය, කීර්තිය හා ගෞරවය රකින්නට බවත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විනයගරුක පාර්ලිමේන්තුවක් ලෙස ජාත්‍යන්තරය සළකන බවත් ජයසූරිය මහතා පැවැසීය.

පසුගියදා පාර්ලිමේන්තුවේ ඇතිවූ නොසන්සුන් තත්ත්වය පාර්ලිමේන්තුවේ ගෞරවයට හානියක් බවත් ස්ථාවර නියෝග කඩමින් එදා හැසිරීම් පිළිබඳ අභ්‍යන්තරව සැකසුණු පූර්ණ වාර්තාවක් ලැබී ඇති අතර එය වරප‍්‍රසාද කමිටුවට ඉදිරිපත් කර අවශ්‍ය පියවර ගැනීමට බලාපොරොත්තු වන බවත් ජයසූරිය මහතා කීය.