බිඟුන් මේනක ගමගේ
ජනතාව දැඩි ජීවන බරින් පෙළෙන අවස්ථාවක මැති ඇමැති වැටුප් වැඩිකිරීමට තමා විරුද්ධ යැයි ජනාධිපති හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ‘ලංකාදීප’ යට පැවසූහ.
සංඛ්‍යාලේඛනවලින් පවසන දත්තවලට වඩා රටේ දුගී දුප්පත්භාවය වර්ධනය වී ඇතැයි ද එවැනි අවස්ථාවක තම වැටුප් වැඩිකරගැනීමක් ගැන කතා කිරීමට කිසිදු මන්ත්‍රීවරයකුට සදාචාරාත්මක අයිතියක් නැතැයි ද රතන හිමියෝ අවධාරණය කර කීහ.
ජනාධිපතිවරයාම නියෝජනය කරන පොළොන්නරු ගොවි කලාපයේ සීයට පනහක ජනතාව සිය ඉඩම් උකස් කර ඇතැයි කී උන්වහන්සේ එම පෙදෙස්වල ඇත්තේ මිනිසුන් මන්දපෝෂණයෙන් පෙලෙන තත්ත්වයක් යැයි පැවසූහ.
ජනාධිපතිවරයාගේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශකයකු වශයෙන් කටයුතු කළ අතුරලියේ රතන හිමියන් මෙම අදහස පළ කළේ ‘ලංකාදීප’ සමග සාකච්ඡාවකට එක් වූ අවස්ථාවේදී මැති ඇමැති වැටුප් සීයට 215 කින් වැඩිකිරීමේ සූදානම ගැන කළ විමසීමේදීය.
දියුණු රටවල මහජන නියෝජිතයන් භාවිතා කරන්නේත් පොදු ප්‍රවාහන සේවය යැයි ද මෙරට මැති ඇමැතිවරුන් ද සරල ජීවන පැවැත්මකට පරිවර්තනය විය යුතු යැයි ද උන්වහන්සේ පැවසූහ.
මහජන බදු මුදල් යොදා නාස්තිකාර මෙගා ව්‍යාපෘති කිරීම පැවැති ආණ්ඩුවට එල්ල වූ විවේචනයකැයි කී උන්වහන්සේ යහපාලන ආණ්ඩුව ද සාමාන්‍ය ජනතාව අමතකර කර ඒ මාර්ගයේම යෑම ලැජ්ජාවට කරුණකැයි ද කීහ.
නුවර හා කතරගම අධිවේගී මාර්ග වෙනුවට දුම්රිය ප්‍රවාහන සේවය නගාසිටුවිය යුතු වුවද මේ ආණ්ඩුව ද මුදල් යොදමින් සිටින්නේ ඉහළ පංතියේ අවශ්‍යතා වෙනුවෙන් යැයි උන්වහන්සේ චෝදනා කළහ.
රටේ සිදුවන ප්‍රතිපත්තිමය වැරැදි නිවැරැදි කළහැක්කේ පුළුල් ජාතික එකමුතුවකින් පමණකැයි ද රතන හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.