මන්ත්‍රී පාලිත රංගෙ අල්ලස් කොමිසමට යයි


(අංජුල මහික වීරරත්න)
 
පාර්ලිමේන්තුවේ බහුතරය හදා ගැනීම සඳහා පක්ෂ මාරු කිරීමට මුදල් සහ කැබිනට් අමාත්‍ය ධූර අල්ලස් ලෙස දුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයක් වෙනුවෙන් සාක්ෂි ලබාදීම සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා අද (12) කොළඹ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණියේය.


ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ඉහත සිද්ධිය සම්බන්ධයෙන් කළ පැමිණිල්ලකට සාක්ෂි ලබාගැනීම සඳහා රංගෙ බණ්ඩාර මහතා කොමිසම හමුවට පැමිණ තිබිණි.


විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ආශු මාරසිංහ, මුජුබුරු රහුමාන්, චමින්ද විජේසිරි, හේෂා විතානගේ යන මහත්වරු ද පාලිත රංගෙ බණ්ඩාර මහතා සමඟ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණ සිටියහ.

ඡායාරූප - ගයාන් අමරසේකර