මන්ත්‍රී චමින්ද අල්ලන්න පොලිස් මෙහෙයුමක්


 (පාලිත ආරියවංශ)
 
බණ්ඩාරවෙල තැපැල් කාර්යාලය ඉදිරිපිටදී කොළඹ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් කොස්තාපල්වරයකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇතැයි බණ්ඩාරවෙල පොලිසිය පවසයි.
 

මන්ත්‍රීවරයාගේ නිවස හා කාර්යාලය  අද(12) දිනයේ සෝදිසියට ලක් කළ නමුත් ඔහු නොසිටි බවද පොලිසිය සඳහන් කරයි.
 
සැකකාර මන්ත්‍රිවරයා කිසියම් මොහොතක පොලිසිය පැමිණ බාරවිය හැකි යැයි  විශ්වාස කරන බව පොලිසිය කියයි.


අයුතු අවහිරය, රජයේ සේවකයෙකු විසින්  තම රාජකාරි ඉටුකිරීම වැළැක්වීමට තුවාල කිරීම, රජයේ නිලධාරියෙකුට අඩන්තේට්ටම් කිරීම හා සාපරාධී බලවත්කාරකම් පෑම යනාදී චෝදනාවන් සැකකාර මන්ත්‍රීවරයාට එල්ලවී ඇති බවද පොලිසිය සඳහන් කළේය.
 
 ඉකුත් 10 වනදා සවස කොළඹ මත්ද්‍රව්‍ය  කාර්යාශයේ පොලිස් කොස්තාපල්වරයා පැදවූ ජීප්රථය සැකකාර මන්ත්‍රීවරයාගේ වාහනය පසුකර ධාවනය වූ අවස්ථාවේ මන්ත්‍රීවරයා ගමන් කළ වාහනය ජීප්රියට ඉස්සර කර මාර්ගය අවහිර කර නවත්වා මෙම පහරදීම සිදුකර ඇතැයි පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය පවසයි.