මන්ත්‍රී කණ්ඩායමක් ගෝඨාගේ සුව දුක් බලන්න සිංගප්පුරු යති


(නාලක සංජීව දහනායක)

ඒකාබද්ධ විපක්‍ෂයට සහය දක්වන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කණ්ඩායමක් සිංගප්පූරුවේදී  අද (3) එරට රෝහලක ප‍්‍රතිකාර ලබන හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා හමුවී ඔහුගේ සුවදුක් විමසා බලා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සහන් කරයි.   

 
ප‍්‍රසන්න රණතුංග, තේනුක විදානගමගේ, ප‍්‍රියංකර ජයරත්න, ප‍්‍රසන්න රණවීර, ඉන්දික අනුරුද්ධ හා කෙහෙලිය රඹුක්වැල්ල යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පිරිස මේ සඳහා එක්ව ඇත.
 
මේ වනවිට තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය හොඳ අතට හැරෙමින් තිබෙන බවත් හැකි ඉක්මණින් ලංකාවට පැමිණ ජනතා බලාපොරොත්තු වෙනුවෙන් කැප වන බවද හිටපු ආරක්‍ෂක ලේකම්වරයා මන්ත‍්‍රීවරුන් පිරිසට කියා ඇතැයිද වාර්තාවේ.

 
කිසිදු කරුණක් හේතුවෙන් පසුබැසීමට තමන් සූදානම් නැති බවත් ජනතාව වෙනුවෙන්  ඕනෑම අභියෝගයකට මුහුණදීමට තමන් සූදානම් බවත් විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ හා බැසිල් රාජපක්‍ෂ සොහොයුරන්ගේ ආශීර්වාදයෙන් අභියෝග ජයගනිමින් ඉදිරියට යෑමට තමන් සූදානම් බවත් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ප‍්‍රකාශ කර ඇත.

එමෙන්ම සිංගප්පූරු විදේශ ඇමතිවරයාද තමන්ගේ සුවදුක් විමසා බැලීමට පැමිණි බවද ඔහු මන්ත‍්‍රීවරුන් පිරිසට පවසා තිබේ.

 ඉදිරි ජනාධිපතිවරණයේ සංවිධායක කටයුතු පිළිබඳව මන්ත‍්‍රීවරුන් පිරිස ගෝඨාභය රාජපක්‍ෂ මහතා දැනුවත් කර තිබෙන අතර ජනාධිපතිවරණ නාම යෝජනා බාරදීමෙන් පසුව ප‍්‍රචාරක වැඩසටහන් ක‍්‍රියාවට නංවන ආකාරය පිළිබඳවද මන්ත‍්‍රීවරුන් පිරිස හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට පැහැදිලි කර ඇතැයිද වාර්තාවේ.