මන්ත්‍රී “පැන්ෂන්” කපන පනත අවසන් සෝදිසියේ


(සුජිත් හේවාජුලිගේ)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත් කෙටුම්පත මේ දිනවල  නීතිපති දෙපාර්තමේන්තුවේ අවසාන පරීක්ෂාවේ පවතින බව වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් අප අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගෙන් කළ විමසුමකදී  ඔහු පැවසුවේ  මෙම පනත් කෙටුම්පත නීතිපති දෙපාර්තමේන්තුවෙන්  ලබා ගැනීමට කටයුතු කරගෙන යන  බවයි.

හිටපු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ලබන මාසයේ ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

හිටපු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ඉවත් කිරීම ජාතික ජන බලවේගය දුන් එක් ප්‍රධාන මැතිවරණ පොරොන්දුවකි.

මෙම පනත පාර්ලිමේන්තුවේදී සම්මත වුවහොත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැන්දඹුවන් පන්සියයකට ආසන්න පිරිසකගේ  විශ්‍රාම වැටුප අහිමි වී යන්නේය.

මේ අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ  පනත් කෙටුම්පත ඉවත් කිරීමේ විශේෂ පනත් කෙටුම්පත පිළිබඳව අප අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගෙන් කළ විමසුම්කදී ඔහු පැවසූවේ  එම පනත් කෙටුම්පතද ඒ පිළිබඳව කරුණු විමර්ශනය කරන කමිටුව විසින් තමාට බාරදෙනු  ලැබීමට නියමිත බවයි.