මධුසමය දා මනාලිය පැහැරගනී


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

විවාහක යුවළක් කොච්චිකඬේ ප්‍රදේශයේ පිහිටි හෝටලයක මධුසමය ගත කරමින් සිටියදී එම හෝටලයට කඩාවැදුණු මනාලියගේ පාර්ශ්වයේ ඥාතීන් පිරිසක් මනාලයාට පහරදී ඔහු සතුව තිබූ දේපොළ ද පැහැරගෙන මනාලිය ද රැගෙන පලාගිය බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොච්චිකඬේ පොලිසිය පරීක්ෂණ පවත්වයි.


මනාලයා විසින් මේ සම්බන්ධයෙන් ඉකුත් 19 වැනිදා සවස කොච්චිකඬේ පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

මංගල පෝරුවේදී මුදු හුවමාරු කරගත් අවස්ථාවේ මනාලිය විසින් පළඳවන ලද රුපියල් 40,000ක් පමණ වටිනා රන් මුද්දත්, හෝටලයේ බිල ගෙවීමට ළඟ තබාගෙන සිටි රුපියල් 50,000ක පමණ මුදල සහ ජංගම දුරකථනය ද පැහැරගෙන ගිය බවට මනාලයා කළ පැමිණිල්ලේ සඳහන් වන බව කොච්චිකඬේ පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

පොලිසිය පවසන ආකාරයට සිද්ධිය මෙසේය.

රැකියාවක නිරතව සිටින 25 හැවිරිදි තරුණයෙක් යෝජනාවක් අනුව දෙපාර්ශ්වයේම කැමැත්ත ඇතිව නාරම්මල පොලිස් වසමේ ගමක පදිංචිව සිටින 21 හැවිරිදි තරුණිය සමග විවාහ වී ඇත.

දෙපාර්ශ්යේම ඥාති මිත්‍රාදින්ගේ සහභාගිත්වයෙන් ඒ ප්‍රදේශයේම හෝටලයකදී ජයටම විවාහ මංගල්‍යය පවත්වා ඇති අතර, පසුව මනාල යුවළ මධුසමය ගත කිරීමට කොච්චිකඬේ ප්‍රදේශයේ හෝටලයකට පැමිණ තිබේ.
මනමාලයා තමන් සමග මධුසමය ගත කිරීමට ගිය අවස්ථාවේ ආරාවුලක් ඇති වූ බව කියමින් මනාලිය ඒ බව ජංගම දුරකථනයෙන් කතාකර ඇයගේ පාර්ශ්වයේ අයකුට දැනුම් දී ඇත.

මේ දැනුම්දීම මත මනාලියගේ පාර්ශ්වයේ 10-15ක් අතර පිරිසක් වෑන් රථයකින් මහ රෑ හෝටලයට පැමිණ මනාලයාට පහරදී ඔහු සතු ඉහත කී දේපොළ ද පැහැරගෙන මනාලිය ද රැගෙන පලා ගොස් තිබේ.
පහර කෑ මනාලයා වෛද්‍යවරයකු හමුවට ගොස් ප්‍රතිකාර ලබාගැනීමෙන් පසුව මේ පිළිබඳව කොච්චිකඬේ පොලිසියට පැමිණිලි කර ඇත.

පැමිණි පිරිස අතරේ සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයන් දෙදෙනකු හඳුනා ගත් බවට මනාලයා පැමිණිලි කර තිබෙන නිසා ඒ තිදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.

මෙම සැකකාරිය හා සැකකරුවන් දෙදෙනා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ සහ බස්නාහිර උතුර දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ මීගමුව කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියලාල් දසනායක මහතාගේ උපදෙස් මත මිගමුව සහකාර පොලිස් අධිකාරි රෝහණ ගමගේ මහතාගේ මෙහෙයවීම යටතේ කොච්චිකඬේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත ධර්මකීර්ති මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.ජී.එම්.කේ. ගුණසේකර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.