(කාංචන කුමාර ආරියදාස)
ගලේවෙල දේවහුව එකේ ඇළ නිවසක කපා කොටා ඝාතනය කළැයි සැකකරන අඹු-සැමි යුවළගේ මළ සිරුරු දෙකක් සොයා ගත් බව ගලේවෙල පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ කෘෂිකර්ම නිෂ්පාදන පර්යේෂණ සහකාර නිලධාරියකු වන ගාමිණී සුරවීර (53) සහ ඔහුගේ බිරිඳ කෘෂි ආශ්‍රිත නිෂ්පාදන රැසක් නිෂ්පාදනය කොට මධ්‍යම පළාතේ දිරිය කාන්තාවට හිමි සම්මානය හිමිකරගත් අනුලා සුරවීර (51) යන අය බව හඳුනාගෙන තිබේ.
දරුවන් දෙදෙනකුගේ මවක සහ පියෙකු වන මෙම දෙදෙනා නිවසේ සිටියදී කිසියම් පිරිසක් පැමිණ තියුණු ආයුධ වලින් ඉතා අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කර තිබෙන බව පොලීසිය කියයි.
මෙම දෙදෙනාගේ පුතුන් දෙදෙනා නිවසේ සිට ගලේවෙල නගරයට පිටත්ව ගිය අවස්ථාවේ රාත්‍රී 8 ට පමණ මෙය සිදුව තිබේ .දරුවන් නැවත නිවසට පැමිණෙන විට නිවෙස ඉදිරිපිට සිය මව සහ පියා ඝාතනය කර තිබුණු බව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
මෙම දෙදෙනා නිවස ඉදිරිපිට ආහාර ගනිමින් සිටියදී ප්‍රහාරයට ලක්වී ඇතැයි සිදුකරන ලද මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගලේවෙල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

