මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා මහනුවර පෝස්ටර් ගලවයි


(චමිල් රූපසිංහ)
 
පෝස්ටර්, බැනර් හා අවිධිමත් වෙළඳ නාම පුවරුවලින් අපවිත්‍රවී ඇති මහනුවර නගරය අලංකාරවත් නගරයක් බවට පත් කිරීම සඳහා මහනුවර නගරයේ පෝස්ටර් ඉවත් කිරීම අද (27) මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා විසින් ආරම්භ කෙරිණ.
 
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා සහ මහනුවර නගරාධිපති කේසර සේනානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්  මහනුවර නගරයේ තිබූ පෝස්ටර් ඉවත් කිරීම සිදු කෙරිණ.
 
පෞද්ගලික උපකාරක පංති, දේශපාලන වැඩසටහන්, විවිධ වෙළඳ දැන්වීම් වලින් යුතු පෝස්ටර් රැසක් ගලවා ඉවත් කෙරුණු අතර නගරයේ දිරා ගිය ගස්වල අතු ඉවත් කිරීම ද මහනුවර මහ නගර සභාවේ සේවකයන් විසින් මෙහිදී සිදුකරනු ලැබීය.
 
පැය තුනක පමණ කාලයක් මෙම ශ්‍රමදාන ව්‍යාපාරය මහනුවර නගරයේ ස්ථාන කිහිපයකදී ක්‍රියාත්මක වූ අතර මහනුවර නගරයේ අවිධිමත් පරිදි පෝස්ටර් ඇලවීම තහනම් කරන බවත් එලෙස පෝස්ටර් අලවන පිරිස් සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බවත් මහනුවර පුරපති කේසර සේනානායක මහතා ප්‍රකාශ කළේය.
 
මහනුවර මහ නගර සභාවේ පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන් , මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාව සඳහා එක්වූහ.