මධ්‍යධරණී මුහුදේදී සංක්‍රමණියන් 532 කු බේරාගැනේ


මැඞ්රිඞ්හිදීය (ඒ.එෆ්.පී)

උතුරු අප්‍රිකාවේ සිට මධ්‍යධරණී මුහුද හරහා ගමන් කරමින් සිටියදී අනතුරට පත්වූ සංක්‍රමණිකයන් 532 කු බේරාගත් බව ස්පාඤ්ඤ සාගර මුදා ගැනීමේ සේවය සඳහන් කරයි. 

කුඩා බෝට්ටු අටකින් ගමන් ගත් සංක්‍රමණිකයන් 239 දෙනකු සහ යාත්‍රා නවයකින් ගමන් කරමින් සිටි සංක්‍රමණිකයන් 293 කු මෙලෙස මුදාගෙන තිබේ. 

මුදා ගැනීම් කෙරෙන අවස්ථාවේදී බෝට්ටු කිහිපයක්ම ගිලෙමින් තිබූ බව ද ස්පාඤ්ඤ මුදා ගැනීමේ සේවය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉරිදා (27) සඳහන් කළේය. 

‘ජිබ්රාල්ටා’ සමුද්‍ර සන්දියේ පසුගිය සතියේ තිබූ හිතකර කාලගුණ තත්ත්වය හේතුවෙන් මුහුද හරහා ගමන් කිරීමට පැමිණි සංක්‍රමණියන්ගේ වර්ධනයක් තිබූ බව ද වාර්තා වේ. 


සෑම වසරකදීම ස්පාඤ්ඤයට සහ අනෙකුත් දකුණු යුරෝපීය රටවලට යෑමේ බලාපොරොත්තුවෙන් දස දහස් ගණනක් මධ්‍යධරණී මුහුද හරහා ගමන් කරති. සංක්‍රමණිකයන් බොහෝ විට යොදා ගන්නේ ජාවාරම්කරුවන්ගේ බෝට්ටුය. මෙම බොහෝමයක් යාත්‍රා මුහුදු ගමන් සඳහා සුදුසු නැති අතර සෑම වසරකදීම සැලකිය යුතු බෝට්ටු ප්‍රමාණයක් මුහුදේ ගිලී යයි. 


සංක්‍රමණිකයන් යුරෝපයට පැමිණෙන තෙවැනි කාර්යබහුලම පිවිසුම ස්පාඤ්ඤය වන අතර යුරෝපයට පිවිසෙන පළමු පිවිසුම ග්‍රීසියයි. යුරෝපයට පිවිසෙන දෙවැනි මාර්ගය ඉතාලියයි. අප්‍රිකා ජාතිකයෝ බොහෝමයක් ලිබියාව හරහා තිබෙන කෙටි මාර්ගය වෙනුවට ඉතාලියට පිවිසීම සඳහා දීර්ඝ මධ්‍යම මධ්‍යධරණී මාර්ගය තෝරාගනිති. ලිබියාවේ තිබෙන අවදානම ඊට ප්‍රමුඛතම හේතුවයි. 


ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානයට අනුව පසුගිය වසරේදී මුහුද ඔස්සේ ස්පාඤ්ඤයට 22,400 දෙනකු පැමිණ තිබෙන අතර එය 2016 වසරේ පැමිණි සංඛ්‍යාව මෙන් තුන් ගුණයකි. ඒ අතරවාරයේදී 223 දෙනකු මියගොස් තිබේ. 


(055)