මධ්‍යධරණී මුහුදේදී බේරාගත් සංක්‍රමණිකයන් 150 දෙනකු ගුවන් ප්‍රහාරයකින් මියගොස් ඇතැයි සරණාගතයන් සඳහා වන එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය අද (26) සඳහන් කළේය.
යුරෝපයට ගමන් කරමින් සිටියදී බෝට්ටුව ගිලී යාමෙන් අනතුරට පත්වූ එම සංක්‍රමණිකයන් පිරිස බේරාගෙන ට්‍රිපෝලි අගනුවර ආසන්නයේ පිහිටි රැඳවුම් කඳවුරකට යවා තිබේ. ඔවුන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එහිදීය.
ගැටුම් පවතින ට්‍රිපෝලි අගනුවර ආසන්නයේ පිහිටි ටජූරා රැඳවුම් කඳවුරට බේරාගත් පිරිසෙන් සංක්‍රමණිකයන් 84 දෙනකු රැගෙන ගිය බව ලිබියානු වෙරළාරක්ෂක බලධාරීන් උපුටා දක්වමින් සරණාගතයන් සඳහා වන එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශක චාර්ලි යැක්ස්ලි පැවැසීය.
එම රැඳවුම් මධ්‍යස්ථානයට ජූලි 3 වැනිදා ගුවන් ප්‍රහාරයක් එල්ල වූ අතර එම ප්‍රහාරයෙන් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. එම ප්‍රහාරයත් සමඟ ලිබියාව සංක්‍රමණිකයන්ට සලකන ආකාරය සම්බන්ධයෙන් ප්‍රශ්න පැන නැගී තිබේ. ලිබියානු ජාතික හමුදාවට ගුවන් ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන අතර විශේෂයෙන්ම එම හමුදාවේ ප්‍රධානී කලීෆා හෆ්තාර්ට ගුවන් ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.
එක්සත් ජාතීන්ගේ සහාය ඇතිව 2016 වසරේදී ලිබියාවේ ආණ්ඩුවක් පිහිටුවනු ලැබූ අතර එම ආණ්ඩුවට සහාය දක්වන සටන්කාමීන් සහ ලිබියානු ජාතික හමුදාව අතර ට්‍රිපෝලි අගනුවර ඇතුළු ලිබියාවේ බොහෝ ස්ථානවල ගැටුම් පවතී.
ටජූරා හි සිටින සංක්‍රමණිකයන් හා සරණාගතයන් ඉන් ඉවත් කරන්නැයි සඳහා වන එක්සත් ජාතීන්ගේ සංවිධානය අවස්ථා කිහිපයදීම ඉල්ලීය. ට්‍රිපෝලි අගනුවරත් ඊට ආසන්න ප්‍රදේශවලත් සරණාගතයන් හා සංක්‍රමණිකයන් බලහත්කාරයෙන් රඳවා සිටින අතර ඔවුන් රඳවා තිබෙන ස්ථානවල තත්ත්වය අමානුෂීය යැයි ද පැවසේ.
ලිබියානු වෙරළාරක්ෂක හමුදාව බ්‍රහස්පතින්දා ද මධ්‍යධරණී මුහුදේදී 130ක වැඩි පිරිසක් බේරාගත්තේය.
මුහුද රළු නොවන ග්‍රීෂ්ම සමයේදී යුරෝපයට ගමන් කරන සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාවෙන් සීග්‍රයෙන් වැඩි වේ. සංක්‍රමණිකයන් සඳහා වන ජාත්‍යන්තර සංවිධානයට අනුව මේ වසරේ මේ දක්වා කාලයේදී මුහුදු මාර්ගයෙන් යුරෝපයට පිරිසගේ සංඛ්‍යාව 37,555ක් වන අතර ගොඩබිම් මාර්ගවලින් ගමන් කළ පිරිසේ සංඛ්‍යාව 8,000කි.
මේ වසරේ මේ දක්වා කාලයේදී මුහුදු මාර්ගයෙන් යුරෝපයට ගමන් කිරීමට උත්සාහ කළ 164 දෙනකු අතරමගදී ජීවිතක්ෂයට පත්වූ බවත් පසුගිය වසර හා සැසඳීමේදී එම සංඛ්‍යාව ඉතා අඩු බවත් සරණාගතයන් සඳහා වන එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා සඳහන් කළේය.
ද ගාඩියන් හා ඒ.එෆ්.පී. ඇසුරිනි
055

