යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට පනවා ඇති මත්ස්‍ය තහනම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ලබන නොවැම්බර් මාසයේදී එම සංගමයේ නියෝජිතයකු මෙරටට පැමිණීමට නියමිතව ඇත.
ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් කාර්යාලයේ තානාපති ඩේවිඩ් ඩේලි සඳහන් කර සිටින්නේ එම නියෝජිතයා ශ්‍රී ලංකා රජය සමඟ දැනට පවතින මත්ස්‍ය තහනම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි. ඔහු කියා සිටියේ දෙපාර්ශවය අතර සිදුවන සාකච්ඡාවලින් අනතුරුව සාර්ථක විසඳුමකට පැමිණිය හැකි බවට තමන් විශ්වාස කරන බවයි.
ඉකුත් ජනවාරි මාසයේ සිට යුරෝපා සංගමය ලංකාවට එරෙහි මෙම මත්ස්‍ය තහනම පැනවුයේ ශ්‍රී ලංකාවේ ධීවරයින් ජාත්‍යන්තර මුහුදු සීමා උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරත බව පවසමිනි. පසුගිය රජය යටතේ යුරෝපා සංගමය මේ පිළිබඳව වරින්වර දැනුම්වත් කළද ඒවා නැවැත්වීමට නිසි පියවර නොගැනීම නිසා එම සංගමය මෙම මෙරටින් මත්ස්‍ය නිෂ්පාදන ගැනීම තහනම් කළේය.

