මත්පෙති සමඟ මාලදිවයින් ජාතිකයින් දෙන්නෙකු අත්අඩංගුවට


(ඉන්දිකා රාමනායක)


රාති‍්‍ර සමාජ ශාලාවල  තරුණ තරුණියන් වෙත ඉහළ මිළ ගන්න වලට අලෙවි කරන මත්පෙති තොගයක් සමඟ මාලදිවයින්  ජාතිකයින් දෙනෙක්  දෙහිවලදී  විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන  ඇත.


සැකකරුවන් දෙදෙනා සතුව මත්පෙති 1995 ක් තිබී ඇති අතර මේවායේ වටිනාකම රුපියල් කෝටියකට අධික බව විශේෂ කාර්ය බලකාය කියයි.


මාලදිවයින් ජාතිකයන් සහ  නයිජීරියානු ජාතිකයන් එක්ව මත්පෙති  ජාවාරම්කරන බවට  විශේෂ කාර්ය බලකායේ  සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය වෙත ලැබුණු තොරතුරක් මත  මෙම වැටලීම සිදුකර තිබුණි.


 මාලදිවයින්  ජාතිකයින් දෙදෙනෙක්   මත්පෙති තොගයක් රැගෙන එන බවට ලැබුණු තොරතුරක් මත  නිලධාරීන් දෙහිවල  නැදිමාලේ සුපිරි වෙළෙද සැලක් අසලදී මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගත්බව විශේෂ කාර්ය බලකය පවසයි.


 අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුවන් සතුව  කුඩා කාඞ්බෝඞ් පෙට්ටියක්  තිබී ඇති අතර ඒ තුළ තට්ටු දෙකක් ආකාරයට මේවා අසුරා තිබී මෙම මත්පෙති තොගය  හමුවී ඇත.


 සැකකරුවන්  නිලධාරීන් නොමග යැවීම සදහා  මෙම මත්පෙති වලට උඩින් ටී ෂර්ට් එකක් හා කලිසමක්  නවා තිබු බවද විශේෂ කාර්ය බලකාය පවසයි.


 සැකකරුවන් සතුව තිබී අත්අඩංගුවට ගත් මත්පෙති  යුරෝපා රටවලින් නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ඒවා බවත් මින් එක් පෙත්තක් රුපියල් 5000 - 7500 අතර මි,කට අලෙවි කරන බවද විශේෂ කාර්ය බලකාය පවසයි.


අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 19 -25 අතර පසුවන බවත් ඔවුන්  දෙහිවල ප‍්‍රදේශයේ  මහල් නිවාසයක නැවතී සිට මෙම ජාවාරම සිදුකරන ගොස් ඇති බවද    පැවසේ.